බෞද්ධයාට අහිමි වෙන සැඟවුණු සෙම්බුමලේ පුරාවිද්‍යා නටබුන් – Archaeological Ruins at Sembumale in the Kuchchaveli Jungles

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 3.00 out of 5)
Loading...
Archaeological Ruins at the Sembumale in the Kuchchaveli Jungles

සෙම්බුමලේ ස්තූපය වටා ඇති නටබුන්.

අද අප ත්‍රිකුණාමලය ලෙස හඳුන්වන්නේ පුරාණයේ ශාක්‍ය ආරයන්ගෙන් කෙනෙකු වූ රාමගෝණ  කුමරු විසින් පිහිටුවන ලද රාමගෝණ  නුවරයි. අතීතයේදී ත්‍රිකුණාමල ප්‍රදේශය බෞද්ධ ආරාම වලින් පිරි ප්‍රදේශයක් උනා. ඉන්දියාවෙන් ආ ආක්‍රමණ ඉදිරියේ ලංකාවේ පාලන නගරය රජරටින් ගිළිහෙන  විට මෙම ප්‍රදේශ ක්‍රමයෙන් බෞද්ධයන් අතරින් ගිලිහුන අතර හින්දු ජාතිකයන් අතට පත් උනා. මීට හොඳම උදාහරණය තමයි පුරාණ  ගෝකන්ණ  විහාරය මත අද ඉදිවී තිබෙන කෝනේෂ්වරන් කෝවිල.

මෙම ප්‍රදේශයේ තිබෙන සේරුවිල, විල්ගම් වෙහෙර, තිරියාය, කුච්චවේලි වැනි ස්ථාන අතීතයේ පැවතුන විශාල ආරාම සංකීර්ණ.  නමුත් කාලයේ වැලිතලාවෙන් බොහෝ  ආරාම නටබුන් වී වනයෙන් වසාගෙන තිබුනා. මෙම ස්ථාන යම්තාක් දුරට පැවතුනේ ස්වාමීන් වහන්සේලා කිහිප නමකගේ උත්සාහයෙන්. නමුත් ක්‍රි.ව. 1980 දශකයේ හිස එසවූ දෙමළ ත්‍රස්තවාදය මෙම ප්‍රදේශ බෞද්ධයාට දශක 3කට තහනම් ප්‍රදේශ උනා. මෙම කාලයේ භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටියේ විල්ගම් වෙහෙර හා සේරුවිල පමණයි. LTTE  ත්‍රස්තවාදීන්ගේ භික්‍ෂූ සංහාර හමුවේ  තම ජීවිත පරදුවට මේ භික්‍ෂූන් වහන්සේලා මෙම කාලයේදී මෙම සිද්ධස්ථාන ආරක්ෂා කළා.

කුච්චවේලි පිහිටියේ ත්‍රිකුණාමලයෙන් කිලෝමීටර 30ක් පමණ උතුරින්. කුච්චවේලි විහාරය පිහිටා තිබෙන්නේ කුච්චවේලි වෙරළේ මුහුද දෙසට නෙරා ගිය ගල්පරයක් මත. පුරාණයේ කුච්චවේලි ප්‍රදේශයම  මහා ආරාමයක් හෝ ආරාම සමුහයක්  බව අද ඇති නටබුන් වලින් පෙනී යනවා.  අවාසනාවට මේවා බොහොමයක් අද කාලයට හා යුද්ධයට වැළලී ගොසින්. ඉතිරි වී ඇති නටබුන් බොහොමයක් අබෞද්ධයින් විසින් අත්පත් කරගෙන කෝවිල් බවට පරිවර්තනය කරමින් බෞද්ධ  ඉතිහාසය මකාදැමීමේ උත්හාසයක නිරත වෙනවා.  මීට වගකියයුත්තේ ප්‍රදේශයේ සිටින දෙමළ ජනතාව නොව ජාතිවාදය අවියක් කරගත් දෙමළ දේශපාලක්ඥයන්.

කුච්චවෙලියේ රට තුලට වන්නට ඇත්තේ මහා වනාන්තරයක්. මෙම වනාන්තරය තුල පුරාණ ආරාමයන්හි නටබුන් තැනින් තැන සොයාගෙන තිබෙනවා. වඩා උස්  නොවූ සෙම්බුමලේ  ගල්තලාවත් වනය මැද ඇති මෙවන් විශාල බෞද්ධ නටබුන් භූමියක්.  මෙම ගල්තලාව අක්කර 50ක පමණ ප්‍රදේශයක් වසාගෙන පවතිනවා. මෙම භූමිය සම්පූර්ණයෙන්ම ඓතිහාසික ආරාම ශේෂ වලින් පිරී පවතිනවා.

අතීතයේ යාන් ඔය ආදී ඔයන් සම්බන්ධකර කරවන ලද වාරි කර්මාන්ත නිසා මෙම පෙදෙස සරුසාරව තිබෙන්නට ඇති.  නමුත් අද සෙම්බුමලේ වටා තිබෙන්නේ වන සතුන්ගෙන් ගහන කැලෑවක්. තැනින් තැන අසිංහලයන් විසින් සකස් කරනලද  හේන් වගාවන් අද දැක ගන්නට පුළුවන්.

උස්‌ බිමක පිහිටි සෙම්බුමලේ පුදබිම උඩට නැගි  විට සෙම්බුමලේ වටා ඇති ඓතිහාසික ස්ථාන බලාගන්නට පුළුවන්. සෙම්බුමලේ පර්වතයට නැගෙනහිර දෙසින් බඹරගල වන සෙනසුන, උතුරු දෙසින් දෙබරගල වන සෙනසුන, බටහිර දිසාවෙන් වසන්වැව පුරාවිද්‍යා භූමිය එසේ දැකගත හැකි ස්ථාන කිහිපයක්.  එමෙන්ම නැගෙනහිර දෙසින් මහ මුහුද සහ ත්‍රිකුණාමලය-පුල්මුඩේ  ප්‍රධාන මාර්ගය හොඳින් දර්ශනය වෙනවා.

මෙම නටබුන් අතර පළමුවෙන්ම මෙහි විශාල මළුවක ශේෂ දැකගැනීමට පුළුවන්. මෙම මලුව මද්‍යයේ විශාල ස්තුප ගොඩැල්ලකි තිබෙනවා. නිදන් සොරුන්  මැදින් අඩි  15ක පමණ වලක් සරා මෙහි තැම්පත් කර තිබූ සියලු ධාතු වස්තූන් කොල්ලකා තිබෙන සැටි අද බලාගන්න පුළුවන්. මලසුන් ගෙවල් වලට අයත්ය බව  සිතිය හැකි කොටස්වල ගල්කණු හා පියගැටපෙළ ගල් කැබලි තැනින් තැන පෙරලී තිබෙනවා.  මේවා රළු චාම් ලෙසයි සදා ඇත්තේ. ස්‌තූපය පිහිටි මළුවට පිවිසීමේ දොරටුව වැටී ඇත්තේ බටහිර දෙසින් බව පිහිටි ගල මත නෙළන ලඳ පියගැට පෙළින් පෙන්නවා. මෙම ස්ථානයේ ආසන ගල් 3 දැකගන්න පුළුවන්. මෙයින් 1ක් කැඩිලා. දාගැබට අඩි 60ක් විතර දුරින් යම් ගොඩනැගිල්ලක නටබුන් දැකබලාගත හැකියි. මෙම ගොඩනැගිල්ල අසලත් තව ආසන ගලක් දැකගන්න පුළුවන්. ඒ ලඟින්ම දිය පිරුණු පොකුණු දෙකක්‌ දැකබලා ගන්න පුළුවන්. ඊට අමතරව දිය නොසිඳෙන තවත් පැන් පොකුණු තුනක්‌ මේ බොදු බිම තුල තිබෙනවා.

ස්තූපයට ඊසාන දිගින් තවත් ගොඩනැගිල්ලක ශේෂයන් දැකගන්නට පුළුවන්. මෙම ගොඩනැගිල්ලේ  කණු පාදම්  6ක් හා ගල්කණු 6ක ශේෂයන් දැකගන්න පුළුවන්.  මීට නුදුරින් අඩි 54 x  40 ප්‍රමාණයේ මළුවක් තිබෙනවා. මෙම මලුව මතත් විශාල ගොඩනැගිල්ලක ශේෂ තිබෙනවා. මෙම ස්ථානයේ අඩි 8ක් උස ගල්කණු 9ක් දැකගන්න පුළුවන්.

එල්ලාවල මෙධානන්ද හිමි දාගැබට නැගෙනහිර දෙසින් සුන්බුන් සහිත තැනක හුණුගලින් නෙළන ලද සිරස රහිත සිටි පිළිමයක්‌ තිබුණ  බව වාර්තා කර තිබෙනවා. මෙහි බඳ කොටස අඩි 6ක උසින් යුක්ත වූ අතර උරහිස අඩි  2ක් පමණ පළල බව දැක්වෙනවා. මෙම පුද බිමේ හමුවූ එකම පිළිමය මෙය  බව මෙධානන්ද හිමි පවසනවා. නමුත් 1978දී මෙම පිළිමය කන්දෙන් බිමට පෙරලා ගස්දෙබලක රැඳී තිබුණ බවත් ඉන්පසු එතැනින්ද ඇදගෙන ගොස් කැබලි කඩා විනාශ කර ඇති බවත් පුවත්පත් වල වාර්තා වී තිබී තිබෙනවා.

මෙම ප්‍රදේශයේ බෞද්ධ ඉතිහාසය මකා දැමීමේ වෑයමේ ප්‍රතිපලයක් වශයෙන් වන මැද  ඇති මේ භූමිය තුලද අලුතින් ශිව දේවාලයක් ගොඩනගා තිබෙනවා. මෙහි බදාම ඇනීමට භාවිතා කර ඇත්තේ ගලින් නෙළන  ලද මල් ආසනයක්. කිසිම දෙමළ ජනාවාසයක් අවට නොමැති මෙම වන බිම තුල වසර දහස් ගණනකට පෙර ගොඩනැගු ස්තූප හා ගොඩනැගිලි විනාශ කොට එම ගඩොලින් මෙම ශිව දේවාලය සාදා තිබෙන හේතුව පැහැදිලිය. මේ දෙමළ ප්‍රජාව තුළින් සිදු වූගොඩනැගීමක්  නොව, අන්තවාදී කණ්‌ඩායමක්‌ විසින් සිදු කරන ලද පූජා භූමි කොල්ලයක්‌ බව හොඳින් පෙනී යනවා.

මෙම කෝවිල තනා ඇති ප්‍රදේශයේ බොහෝ ගොඩනැගිලි ශේෂ හමුවෙනවා. කැටයම් සහිත ගලක කැබලි, කැටයම් සහිත අසන පුවරු 2ක්, ශිලාමය සිරි පතුල් ගලක් හා වෙනත් ශිලාමය නටබුන් ඇති බව මෙධානන්ද හිමි සටහන් කොට තිබෙනවා.

මේ සෙම්බුමලේ පුදබිම සොයාගෙන චේතියගිරි පුරාණ රජමහා විහාරය, කිණිහිරියා කන්ද යන නමින් ලියාපදිංචි කර තිබෙන්නේ 1978 වසරේ අමරපුර සිරි සද්ධම්මවංශික මහා නිකායේ මහානායක අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි නාහිමි වහන්සේ. එතුමා එකල කුච්චවේලි පිච්ච මල් විහාරයේ විහාරාධිපති. උන්වහන්සේ මහා කැලෑවෙන් වැසී ගිය උතුරු, නැගෙනහිර බෞද්ධ සිද්ධස්‌ථාන රාශියක්‌ සොයාගෙන නැවත ප්‍රතිසංස්‌කරණය කිරීමට මූලිකත්වය ගෙන තිබෙනවා. පසුකාලීනව ෙචේතියගිරි පුරාණ රජමහා විහාර නාමය සෙම්බුමලේ යනුවෙන් වෙනස්‌ වෙලා තියෙනවා.

සෙම්බුමලේ බොදු බිම ආරක්ෂාවට පහළ කුටි සෙනසුනේ කැප්පෙටියාවේ අරණවිහාරී ස්‌වාමීන් වහන්සේ 2015 සිට වැඩ සිටිනවා. එතුමාට හා ප්‍රදේශයේ ආරක්ෂාව කුටි සෙනසුනට මඳ දුරකින් පිහිටි හමුදා මුරපොළේ රණවිරුවන් සපයනවා. උන්වහන්සේ දිවයින පුවත්පතට මෙසේ පවසා තිබෙනවා.

“පිච්චමල් විහාරයේ වැඩ සිටින අතරේ දවසක්‌ මම ආවාස ගේ අස්‌පස්‌ කරනකොට පරණ පෙට්‌ටගමක තිබිලා වටිනා ලියකියවිලි තොගයක්‌ හමු වුණා. ඒ ලියකියවිලි අතර මේ සෙම්බුමලේ බොදු බිම ගැන සඳහන් ලිපි කිහිපයක්‌ම තිබුණා. ඒ ලිපිවල සඳහන් විදිහට යුද්ධයට පෙර 1979 ඉඳලා 84 අවුරුද්ද විතර වෙනකම් මේ සෙම්බුමලේ බොදු බිම දැවැන්ත පුරාවිද්‍යා වැඩ බිමක්‌ විදිහට තිබිලා තියෙනවා. පුරාවිද්‍යා සේවකයෝ දහයක්‌, පහළොවක්‌ වැඩ කරලා තියෙනවා. ඒ කාලේ කැණීම් කරලා සොයාගත්ත නටබුන් තමයි අදටත් දකින්න ලැබෙන්නේ…”

“මේ රණවිරුවන්ට පින් සිද්ධ වෙන්න දැන් මේ බොදු බිමට හොඳ ආරක්‍ෂාවක්‌ තියෙනවා. ඒත් සෑම මාස පෝය දවසකටම දෙමළ මිනිස්‌සු කණ්‌ඩායම් පිටින් ඇවිත් සෑය අසල හදාගෙන තියෙන දේවාලය කියන තැන පුද පූජා පවත්වලා යනවා. ඒ දේවාලය කොයි කාලේ කොහොම ඉදිකළාද කියලා කියන්න මම දන්නේ නෑ. ඒත් මේ දේවාලය කියන ගොඩනැඟිල්ල පූජා භූමි ආක්‍රමණයක්‌ බව පැහැදිලිව කියන්න පුළුවන්. දේවාලයේ බිත්ති බැඳලා තියෙන්නේ චෛත්‍යයේ ගඩොල්වලින්. බදාම අනන්න අරගෙන තියෙන්නේ මල් ආසනයක්‌. පුද පූජා පවත්වන්න කිරිබත් හදන්න ලිප් පත්තු කරන්නේ පෞරාණික ගඩොල් තියලා. මේ මෑතක දවසක දාගැබ ආසන්නයේ තිබුණු ශ්‍රී පතුල් ගලක්‌ දේවාලය ඇතුළට අරගෙන ගිහින් ඒ මත කාන්තා රූපයක්‌ අඹලා. ශ්‍රී පතුල නොපෙනන විදිහට සම්පූර්ණයෙන්ම බදාම ගාල වහලා. ඒ සිද්ධිය ගැන පුරාවිද්‍යා නිලධාරීන්ට දැනුම් දුන්නම ඒ අය කියනවා අපිට එන්න විදිහක්‌ නෑ කියලා. ඊට පස්‌සේ මම පොලිසියේ පැමිණිල්ලක්‌ දැම්මා. කුච්චවේලි පොලිසියේ ඕඅයිසී මහත්තයා දේවාලයේ භාරකාර මණ්‌ඩලය ගෙනත් සිද්ධිය පැහැදිලි කළාට පස්‌සේ ඔවුන් වරද පිළිගෙන ශ්‍රී පතුල් ගල තිබුණු තැනට ගෙනත් තිබ්බා. දෙමළ ජනතාව බහුතරය වෙසෙන මේ ප්‍රදේශවල ඔවුන්ගේ ආගමික වතාවත් සඳහා කෝවිලක්‌ ඉදිකරගැනීම ගැටලුවක්‌ නෙමෙයි. සෙම්බුමලේ බෞද්ධ පුරාවිද්‍යා භූමිය පහළ බිමක කෝවිලක්‌ ඉදිකරගැනීමත් ගැටලුවක්‌ නෙමෙයි. සමහර බෞද්ධ සිද්ධස්‌ථාන තුළ ආගමික සහජීවනයෙන් දේවාල පවත්වාගෙන යනවා. ඒත් උතුර, නැගෙනහිර බොදු බිම් තුළ පුරාවස්‌තු අමුද්‍රව්‍ය කරගෙන කෝවිල්, දේවාල, පල්ලි ඉදිකරන්නේ පූජා භූමි කොල්ලකන්න. ලෝකයාට බොරු ඉතිහාසයක්‌ මවා පාන්න. මේ ආක්‍රමණයන් සිදු කරන්නේ අන්තවාදී සංවිධාන. සාමාන්‍ය දෙමළ ජනතාවට පූජා භූමි කොල්ලකෑමේ අවශ්‍යතාවක්‌ නෑ. ඒ මිනිස්‌සු සුහදව සිංහල මිනිස්‌සු සමඟ එකට ජීවත් වෙනවා…”

එල්ලාවල මෙධානන්ද හිමිට අනුව මෙම නටබුන් ක්‍රි.පූ . යුගයේ  සිට 10 ශතවර්ශය අතර කාලයයන්ට අයත් වෙනවා. අතීතයේදී මෙම ප්‍රදේශයට මාර්ගයක් නොතිබුනත් දැන් බොරළු මාර්ගයක් තිබෙනවා. මෙම ස්ථානයට ගමන් කිරීමට ත්‍රිකුණාමලය පුල්මුඩේ මාර්ගයේ සෙම්බුමලේ පොලිසිය ඉදිරියෙන් ඇති මාර්ගයට හැරවිය යුතුයි.

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  1. මෙධානන්ද හිමි, එල්ලාවල, 2003, පාචීන පස්ස-උත්තර පස්ස : නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය. 1. Colombo : Dayawansa Jayakody.
  2. මෙධානන්ද හිමි, එල්ලාවල, 2020, පුරාවිද්‍යා ඇසනොගැටුණු සෙම්බුමලේ [online]. Colombo : ලක්බිම. [Accessed 26  April  2020]. Available from: http://cea.nsf.ac.lk/handle/1/1980
  3. රත්නවීර, තරංග, සෙම්බුමලේ දාගැබේ ගඩොල් ගලවා දේවාලයක්‌ හදයි : ඉරිදා දිවයින

සම්බන්ධ වෙනත් පිටු

සෙම්බුමලේ පුරාවිද්‍යා නටබුන් සිතියම


ගූගල් සිතියම් පහලින් - Please click on the button below to load the Dynamic Google Map -
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.


කුච්චවේලි සෙම්බුමලේ  නටබුන් රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට  කුච්චවේලි සෙම්බුමලේ නටබුන් දක්වා

හරහා :නිලාවේලි
මුළු දුර : කිලෝමීටර් 38
ගතවන කාලය : පැය 1
ගත කිරිය යුතු කාලය : පැය 1-2 අතර
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com
Comments