වෙට්ටඹුගල පර්වත ගුහාවේ ප්‍රාග් ඓතිහාසික සිතුවම් (Prehistoric Cave Art in Wettambugala Rock Cave)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 3.00 out of 5)
Loading...

ආදිමානවයා අපට රූප ටිකක් පමණක් ඉතිරි කර ගොස් නැත. ඔවුන් අපේ භාෂාවේ සංස්කෘතියේ ආරම්භය අපට දැකගන්නට ඉඩ සලසා ඇත. අපේ වගකීම කුමක්ද? හැම ගහක් ගලක්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට රැකගත නොහැකි බව හැබෑය. එහෙත් මේවා අනාගත පරපුරට දැකගැනීමට ඉඩ සැලැසීම වටී. එවිට පරිසරය රසවිඳිමින් අතීත මානව සමාජය වර්තමානය දක්වා ගොඩනැඟුණු අයුරු ඔවුන් වටහාගනු ඇත.

ශ්‍රී ලංකාවේ පර්වත චිත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් මෙතෙක් යොමු වී නැත. ලෝකයේ අනෙක් රටවල පර්වත චිත්‍ර හා සසඳා බලද්දී ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන පර්වත චිත්‍ර සකස් නොකරන ලද ගලක පියවි මතුපිටෙහි අඳින ලද හෝ කොටන ලද රූප ලෙස වෙන් කොට හඳුනාගත හැකිය. පර්වත චිත්‍ර කුරුටු හා ආලේඛ්‍ය වශයෙන් දෙයාකාර වේ. පර්වතයන්හි රළු මතුපිටෙහි චිත්‍ර ඇඳීම බොහෝ රටවල දක්නට තිබේ. මේ සිතුවම්හි කර්තෘත්වය ඓතිහාසික යුගයට පෙර ජීවත් වූ ජන කණ්ඩායම්වලට හෝ ප්‍රාග්-ඓතිහාසික යුගයේ ජනකණ්ඩායම්වලට අයත් බව හඳුනාගත හැකිය. එසේත් නැති නම් ඒවා ඓතිහාසික යුගයේ ජන කණ්ඩායම්‍වලට අයත් විය හැකිය. කෙසේ වූවද පර්වත චිත්‍ර කාලය නිර්ණය කිරීමට අවකාශ ලැබී නැත.

වස්තුබේගල හෙවත් වෙට්ටඹුගල වර්තමානයේ ශුෂ්ක ප්‍රදේශයක් ලෙස දක්වන කෘෂිකාර්මික දිවිපෙවෙතක් ගත කරන ජනසමූහයක් වෙසෙන ප්‍රදේශයකි. අප යද්දී මොනරාගල බඩඉරිඟු හේන්ද අනෙකුත් වගාවන්ද පාළු වී ගොස් තිබිණි. එහෙත් එක් කන්නයක් වගා කොට ගිනි දමන ලද උක් හේන්හි අලුත් දලු ගොබ දමමින් තිබිණි.

මෑතක් වන තුරුම කැලෑ ලෙස පැවැති භූමි හේන් බවට පත්ව ඇති අපූරුව, ඒ මිනිස් ශ්‍රමයේ මහිමයයි. එහෙත් ඉන් නිසි ප්‍රයෝජන ගන්නට නොදී අහස පොළොවට ගිනි පිඹිමින් සිටී. ගම්මානයේ සිට කිලෝ මීටර් දහයක් පමණ හේන්ද වන වගාවන්ද පසු කර දුෂ්කර ගමනක් පැමිණි අපි ඒ ගිනි දලු අතරින් අපි වේට්ටඹුගල කන්ද නැඟගතිමු.

මේ ලෙන දිගින් මීටර 75කි. උසින් මීටර් 20ක් පමණ වේ. ලෙනෙහි කටාරමක් යොදා ඇති අතර, ඊට යටින් පූර්ව බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියන ලද සෙල්ලිපියක් වේ. එය ක්‍රිස්තු පූර්ව 3-2 සියවස්වලට අයත්ය. ලෙනට ඉහළින් පර්වතය මුදුනෙහිද දික් අතට ලියන ලද ශිලා ලේඛන දෙකකි. ඒ ලිපි තුනටම අනුව මේ ලෙන ක්‍රිස්තු පූර්වයට පෙර 3-2 සියවස්වලදී ශුමන පර්වතය ලෙසින් හඳුන්වා දී තිබේ. මේ පෙදෙස අතීත රුහුණු රටට අයත් වේ යැයි සැලැකේ. කෙසේ වුවද මේ ලෙන සංඝයාට පූජා කර ඇත්තේ මහානාග මහ රජුගේ සමයේ බව තහවුරු වේ. පූර්ණ වශයේ නොකියවූවද සෙල්ලිපියේ මහානාග මහා රජුගේ පුතුන් දෙදදෙනකු වන අභය හෙවත් ‍ගෝඨාභය හා තිස්ස හෙවත් යටාලතිස්ස යන දෙදෙනාගේ නම් සඳහන් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලාලේඛන අංශයේ පර්යේෂණ සහකාර තනුර දයානන්ද මහතා කටාරමට යටින් වූ සෙල්ලිපිය පියෙවි ඇසින් බලා සටහන් කර දුන්නේය. ඒ ලිපියට අනුව සුදස්සන නම් විය. ලෙන භික්ෂූන් අරබයා පූජා කිරීමට පෙර සිටම ආදිමානවයා භාවිත කර ඇති බව පැහැදිලි වන අතර, මෙහි වන සිතුවම් ඔවුන් විසින් අඳින ඒවා වන්නට ඇතැයි අනුමාන කෙරේ.

මේ සිතුවම් පළමු වන වරට 2004දී වාර්තා වී ඇති අතර, දැනට ලෝකයේ හඳුනාගෙන ඇති පර්වත චිත්‍ර හා සසඳද්දී ශ්‍රී ලංකාවට ආවේණික ලක්ෂණ හඳුනාගත හැකි බව මහාචාර්ය රාජ් සෝමදේව පවසයි. වෙට්ටඹුගල ගුහාවේ ඇති රූප ඒ සඳහා හොඳම නිදසුන ලෙස මහාචාර්යවරයා පවසා සිටී. ගල් ගුහා බිත්තිය මුළුමනින්ම අලින්ගෙන් සිතුවම් කොට ඇත. මෙසේ අතිවිශාල වශයෙන් ගල් ගුහා බිත්තියේ වන අලින්ගේ සිතුවම් අඳින ලද ප්‍රාග්-ඓතිහාසික හෝ පූර්ව-ඓතිහාසික සිතුවමක් ලෝකයේ කොතැනින් හෝ මෙතෙක් හමු වී නැත, යන්න මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ අදහසයි.

මේ සිතුවම සන්නිවේදනාත්මක ප්‍රකාශයක් ලෙස මෙන්ම යාතු කාර්මික අදහසක් ගැබ් වූ සිතුවමක් ලෙසද අර්ථදැක්විය හැකි බව ඌව පළාත් පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි රංජිත් කුමාර මහතා ප්‍රකාශ කරයි. වෙට්ටඹුගල රූප අතර අලිඇතුන් මෙන්ම රවුම් තුළ සටහන් කරන ලද තිත් හා ඒ රවුම් අසල අලින් නොවන වෙනත් සත්ත්ව රූපද හඳුනාගත හැකිය. පුරාවිද්‍යාඥයන්ට අනුව තිත් මගින් ජලය පෙන්නුම් කෙරේ. මේ සිතුවම් මඟින් පුද්ගලබද්ධ අත්දැකීම් ප්‍රකාශ වන්නේය, යන්න ඉන් සනාථ වේ.

අලින් එන පාරක ගියද අපට එකුදු අලියකු හෝ හමු වූයේ නැත. එහෙත් හේන් ගොවීන්ගේ හේන් කුඹුරු පාළු කරන්නට වෙට්ටඹුගලට තවමත් සැදෑකාලයේ අලි පැමිණෙන බව අපට මඟපෙන්වූ අත්තනායක මහතා පැවසීය. සියවස් ගණනක් ජනාවාසයක්ව පැවැතියද එහි ජනයාගේ දිවි පැවැත්ම ඉතා දුෂ්කරය කටුකය. මේ කටුක පරිසරයේ අතීත මානවයා කිසිදු හවුහරණක් නැතිව තම ජීවිකාව කරගත්තේ කෙසේද යන්න විමසීම සිතුවම් පිළිබඳ විමසනවා සේම වටී.

අප කැඳවාගෙන ගිය බණ්ඩාර මහතාට වනාන්තරයෙන් අප එළියට ගෙන ඒමට පුදුම හදිසියක් තිබිණි. එහෙත් මමද ඌව පළාත් පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා හා රංජිත් කුමාර මහතා සමඟ එක්ව අත්තනායක මහතාගේ මඟ පෙන්වීම මත පර්වත මුදුනට නැඟගතිමි. අත්තනායක මහතා මා ගැන කරදර වූවද එය මට එතරම් අපහසු නොවීය.

වෙට්ටඹුගල පර්වත මුදුනෙහි සෙල්ලිපියට අමතරව ගල් පඩිපෙළකි. තැනිතලාවෙන් එපිට මධ්‍යම කඳුරයේ අසිරිය ක්ෂිතිජ රේඛාවේදී දැකගත හැකිය. තැනිතලාවේ කෙළවර යාල වනාන්තරයයි. ශ්‍රී ලංකාවේ ඓතිහාසික තොරතුරු රැසක් සඟවාගත් වනාන්තරය මැද ඇති කඳු පන්ති සිතිජයේ ගෑවෙමින් නොගෑවෙමින් වැජඹේ. ඉර ගල වැටෙන්නට

පෙර යන්තම් අපි වනාන්තරයෙන් මගකට පිවිසුණෙමු. පැමිණි දුෂ්කර මඟ ආපසු යා යුතුය. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ගුහා සිතුවම්වල වස්තුවිෂයය බොහෝ විට සමානයි; ශෛලියත් බොහෝ විට සමානයි. අන්තර්ගතය සැලැකීමේ දී සත්ත්ව රූප, මානව රූප, ඉර, හඳ, ජලය පිහිටි ස්ථාන රේඛා හා ජ්‍යාමිතික හැඩතල භාවිතයෙන් නිර්මාණය කිරීමට ගත් උත්සාහය හඳුනාගත හැකියැයි ඌව පළාත් පුරාවිද්‍යා අධක්ෂ නවරත්න බණ්ඩාර මහතා පවසයි.

“වනාන්තරයේ දිවි රැකගන්න වෙහෙසුණු මිනිසුන්ට රූප අඳින්න වෙලාව තිබුණාද?” මම ඌව පළාත් පුරාවිද්‍යා පර්යේණ සහකාර රංජිත් කුමාර මහතාගෙන් විමසීමි.

“ඔවුන් විවේක කාලය ගත කරන්න මේ රූප ඇන්දා වෙන්න පුළුවන්. එසේත් නැත්නම් පිරිමින් ආහාර සොයා දඩයමේ ගිය පසු කාන්තාවන් විසන් මේ සිතුවම් ඇන්දා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත් නම් අභිචාර ලෙස හෝ සීමාමායිම් දැක්වීමට හෝ තමන්ට තේරුම් ගැනීමට නොහැකි වූ ස්වභාව ධර්මයේ බලවේගයන් ප්‍රකාශ කිරීම සඳහා හෝ මේ රූප ඇන්දා වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඔවුන් අප මෙන්ම මේ භූමියේ විසූ බව අපට දැනගන්නට සැලැස්වීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.”

මහාචාර්ය රාජ් සෝ‍ෙදේව මහතා වරක් මා සමඟ පැවැසුවේ භාෂාවේ ආරම්භය පිළිබඳ ඉඟියක් ලෙන් හා ගුහා චිත්‍ර විමර්ශනයෙන් හඳුනාගත හැකි බවයි. කුරුටු සංකේත අධ්‍යයනය කළ ඇලෙක්සැන්ඩර් මාෂැක් පවසා ඇත්තේ කාලගණනයට කෙටි හා දිගුකාලීන ඍතු වෙස්වීම් දැක්වීමට (CALENDARIC NOTATION) ලෙස පර්වත රූප ඇඳි අවස්ථා ඇති බවයි. ශ්‍රී ලංකාවේදී එවන් අවස්ථාවක් අලව්ව හක්බෙලි කන්දේදී දැකගත හැකිය.

ආදිමානවයා අපට රූප ටිකක් පමණක් ඉතිරි කර ගොස් නැත. ඔවුන් අපේ භාෂාවේ සංස්කෘතියේ ආරම්භය අපට දැකගන්නට ඉඩ සලසා ඇත. අපේ වගකීම කුමක්ද? හැම ගහක් ගලක්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට රැකගත නොහැකි බව හැබෑය. එහෙත් මේවා අනාගත පරපුරට දැකගැනීමට ඉඩ සැලැසීම වටී. එවිට පරිසරය රසවිඳිමින් අතීත මානව සමාජය වර්තමානය දක්වා ගොඩනැඟුණු අයුරු ඔවුන් වටහාගනු ඇත.

Source : silumina.lk (The Nation)
By ටෙක්ලා පද්මිණී කාරියවසම්

ඉහත සඳහන් ලිපියෙහි මෙම ලෙන මීටර 75ක් දිග බව සඳහන් වුවද මෙම ලෙන මීටර 30ක් දිග බව පැවසේ. මෙහි මීටර 25ක් පමණ දිගට සිතුවම් ඇඳ ඇත.

මෙම ස්ථානයට ගමන් කිරීමට මොනරාගල පසුකොට සියඹලාන්ඩුව මාර්ගයේ කිලෝමීටර 28ක් පමණ ගමන් ගත්කල කොඩයාන මාර්ගය හමුවී. මෙම පටු මාර්ගය ඇත්තේ KST ඉරිඟු පිටි කිරීමේ කර්මාන්ත ශාලාවට කලිනි. මෙම මාර්ගයේ වෙට්ටඹුගල පර්වතයට කිලෝමීටර 6-8ක් පමණ හේන් ගොවිබිම් හරහා ගමන් කල යුතුය. මෙම පර්වතය ආසන්නයට යාමටනම් 4×4 වාහනයක් අවශ්‍යය. එසේ නැතිනම් අවසාන කොටස පයින්ම ගමන් කල යුතුය.

පහත ගූගල් සිතියමේ මෙම ස්ථානය සටහන් කර ඇත්තේ ඉහත සඳහන් ගමන් දිශාවන්ට අනුව බව සලකන්න.

මූලාශ්‍ර :

සම්බන්ධ වෙනත් පිටු

මොණරාගල වෙට්ටඹුගල පර්වතය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මොණරාගල වෙට්ටඹුගල පර්වතය රියදුරු දිශාවන්

මොණරාගල සිට වෙට්ටඹුගල පර්වතය දක්වා
හරහා :
මුළු දුර : කිලෝමීටර් 33
ගතවන කාලය : විනාඩි 45
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-60  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply