සාලිය අසෝකමාලා සැඟවුණු විළඳගොඩ ආරන්‍යය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (5 votes, average: 4.00 out of 5)
Loading...

පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවළගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 17 වැනි සැතපුම හන්දියේ සිට පහළ පුලියන්කුලම දෙසට කි. මී. 9ක් පමණ දුරට ගොස් නැවත බටහිර දෙසට කි. මී. 3ක් පමණ දුර යන විට හමුවන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් විළඳගොඩ හෙවත් සාලවන විහාරය හමු වෙයි.

තබ්බෝව වන රක්‍ෂිතයට අයත් මෙම පුරාවිද්‍යා ස්ථානය අක්කර 500ක පමණ භූමි භාගයක් පුරා ව්‍යාප්තව පවතී. භූමිය පුරා කටාරම් සහිත ගල්ලෙන් තුළින් ඓතිහාසිකව ඉතා වැදගත් භික්‍ෂු ආරණ්‍යයක් වන්නට ඇතැයි හැඟේ. මෙම ස්ථානය සිව් දෙසින්ම වන රක්‍ෂිතය නිසා වන සතුන්ගේ සංචරණයන් නිතර අධ්‍යයනය කළ හැකිවේ. පුරාවිද්‍යාත්මක සාධක කෙසේ වුවද මෙම ආරාම සංකීර්ණය දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු කරවූ බවට ජනප්‍රවාද පවතී. මෙම ප්‍රදේශය ආශි්‍රතව සාලිය කුමරු සහ බිසව සේ සැලකෙන අශෝකමාලා යන දෙදෙනා ජීවත්ව සිටි බවත්, සාලිය කුමරු විසින් සිය රජුට විළඳ වට්ටියක් මෙහිදී පූජා කර ඇති නිසා විළඳගොඩ යන නම මෙම ස්ථානයට ලැබුණු බවත් ආරණ්‍යවාසී භික්‍ෂුන්වහන්සේ විසින් කරුණු පැහැදිලි කරන ලදී.

දුටුගැමුණු රජුගේ යෝධයන් දෙදෙනකු විසින් රජුගෙන් වරයක් දෙන ලෙසත් එම වරයට අනුව සාලිය කුමරුන් ආරක්‍ෂා කර විළඳගොඩ සහ එහි සිට වයඹ දිග මුහුදු සීමාව දක්වා පාලනය කිරීමට අවස්ථාව උදාකර ගත් බවටද ජනප්‍රවාද වේ. නදුන්ආරු නගර මැද පිහිටි සාලවන විහාරයට යම් යම් රාජ්‍ය නිලධාරීන් වැද අවුල් වියවුල් නොකොට යුතුය යන්න මහාවංසයට අනුව ධාතුසේන රජ සමයේ සාලවන නමින් විහාරයක් කරවූ බවට කරුණු සඳහන් වන බවත් එම සාලවන විහාරය මෙම විළඳගොඩ පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයද යන්න තවදුරට විධිමත්ව අධ්‍යයනය කළ යුතුය.

ක්‍රි. පූ. 3 වැනි සියවස දක්වා දිව යන සාධක රැසක් මෙම ස්ථානයෙන් හඳුනාගත හැකිය. ඊට කදිම සාධක වශයෙන් බ්‍රහ්මී ශිලා ලිපි සහිත ගල්ලෙන් වැදගත් වේ. මෙම ස්ථානයේ දක්නට ලැබෙන ලෙන් ලිපි බොහොමයක් ක්‍රි. පූ. 3 වැනි සියවස සිට පශ්චාත් අනුරාධපුර යුගය දක්වා අතර කාලසීමාවලට අයත් වෙතැයි එම ලිපිවල අක්‍ෂර විකාශනය අනුව හඳුනාගත හැකිය.

විළඳගොඩ පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ ඇති ප්‍රධාන ස්ථානයක් සේ සැලකිය හැකි සාලවන විහාරය ධාතුසේන රජු විසින් කරවන ලද සාලවන විහාරයද එසේත් නැතිනම් ඊටත් පසු කාලීනව ඉදිකරන ලද්දක්ද යන්න තවදුරටත් අධ්‍යයනය කළ යුතුවේ. පාෂාණ උද්ගතයක් මත පිහිටි කටාරම් කොටන ලද ලෙනක් උපයෝගී කර ගනිමින් මෙම විහාරය ඉදිකර ඇත. මෙහි එක් විශේෂත්වයක් වනුයේ කටාරම සහිත ලෙන ප්‍රධාන පාෂාණ උද්ගතය සමඟ සම්බන්ධ වන්නේ කිනම් ස්ථානකින්ද යන්න හඳුනාගත නොහැකි වීමය.
විහාර මන්දිරයේ ඇති විශේෂිතම නිර්මාණය වන්නේ මැටි බදාමයෙන් නිමකර හුනු පිරියම් කර ඇති විවිධ නිර්මාණවලින් යුතු මකර තොරණය. ඉතා ශක්තිමත් අළු පැහැති මැටි බදාමයක් මේ නිර්මාණය සඳහා භාවිත කරන්නට ඇති අතර මකර තොරණින් මතුකර ඇති දේවතා රූපද මැටි බදාම භාවිත කර නිර්මාණය කර ඇති බවට සාධක දැකගත හැකිය.

මෙම මකර තොරණ සම්බන්ධයෙන් සෘජුව කාලසීමාවක් කිව නොහැකි වුවද බොහෝවිට පොළොන්නරු යුගයටත් පසුකාලීන වෙතැයි හැඟේ. විහාර ලෙන් කටාරමට පහළින් වන ලෙන් ලිපිය ක්‍රි. පූ. 3 වැනි සියවසත් ක්‍රි. ව. 3 වැනි සියවසත් අතර විය හැකි බවද, විහාරයේ පාදම, බොරදම්, බදාමය, ඇතුළුවන ‍ෙදාරටුව, මකර තොරණ සහ එහි ස්වරූපය යනාදී ලක්‍ෂණ බොහොමයක් සමඟ පරීක්‍ෂා කිරීමේදී මෙම විහාරය විවිධ යුගයන්වලදී වරින් වර එක් එක් නිර්මාණ අංග එකතු කර ගනිමින් යුග කිහිපයක නිර්මාණ තාක්‍ෂණයත් සමඟ ඉදිවන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

මීට අමතරව යන්ත්‍ර ගලක් වන්නට ඇතැයි හඳුනාගත හැකි ගල් කණුවක්ද පද්මාසනයක් විය හැකි සාධක හඳුනා ගැනීමට පිළිවන් කොටසක්ද වේ. වෘත්තාකාරයෙන් නෙළන ලද සේම සියුම්ව සරලව නිර්මාණය කර ඇති නෙළුම් පෙති සහ බොරදම්වලින් යුතු පද්මාසනයක් විය හැකි ලක්‍ෂණ සහිත නටබුන් කොටසක්ද වේ.
ඉහත පිළිම ගෙයට තරමක් පහළින් දළ වශයෙන් මීටර් 15ක් පමණ දිගින් සහ මීටර් 13ක් පමණ පළලින් යුතු ගොඩනැඟිල්ලක ලක්‍ෂණ වන අතර ගල් කණු විශාල ප්‍රමාණයක් මෙම ගොඩනැඟිල්ල හා සම්බන්ධ වේ. ගොඩනැඟිල්ල මුලුවල ඇති ගල් කණු තරමක විශාල ඒවා වන අතර මධ්‍යයට වන්නට පිහිටා ඇති කණු කුඩා ඒවා වෙයි.

කණුවල මුදුනත ඉංගී්‍රසි අක්ෂරවල එන “යූ” හැඩයට කපන ලද කුඩුම්බි වේ. බොහොමයක් කණුවල මුදුනත එකම මට්ටමට පිහිටා ඇති අතර එම කණුවලට ඉහළින් තවත් මහලක් තිබෙන්නට ඇතැයි යන්නට සාධකද වේ. මෙම ස්ථානය සීමා මාලකය ලෙසට නම් කර ඇති අතර ඉහත සාධක හා සසඳන විට එවැනි ලක්‍ෂණයද මෙයින් පිළිබිඹු වේ. එම ස්ථානයට මීටර් 10ක් පමණ බටහිර දෙසින් වෘත්තාකාරයට පිහිටා ඇති ගල් කණු රැසක් සහිත ගොඩනැඟිල්ලක සාධක ඇති අතර එහි එක් පසෙකින් ඇති හාරන ලද ආවාටයක් වේ. මෙම ආවාටය ඇතුළත පිරික්සීමේදී ගඩොල් බැම්මක් ඇති බවට සාධක පවතී. මේ සාධක අනුව බෝධිඝරයක ලක්‍ෂණ සහිත ශේෂ ගොඩනැඟිල්ලක් බවට අනුමාන කළ හැකිවේ.

මීට අමතරව පධානඝරයක් ලෙසට නම් කර ඇති නටබුන් කොටසක් සාලිය කුමරුන් හා එම බිසව දිය නාන්නට ඇතැයි විශ්වාස කරන පිහිටි පාෂාණ උද්ගතයක් මත නෙළා ඇති පිය ගැට පෙළ සහිත දිය පොකුණ, ගිනි ගල් පොකුණ, නොසිඳෙන දිය උල්පත, කටාරම සහිත ලෙනක්ද සහිත විස්මිත වූ ස්වාභාවිකව පිහිටි බැලුම් ගල නමින් හඳුන්වන ස්ථානය, කටාරම් කොටන ලද ලෙන් විශාල ප්‍රමාණයක් සහ තවදුරටත් හඳුනා ගැනීමට අසීරු නටබුන් රැසකින්ද මෙම ක්‍ෂේත්‍රය සමන්විත වේ.

ලෙන් ලිපි විශාල ප්‍රමාණයක් මෙම ආරාම සංකීර්ණය තුළින් හඳුනාගත හැකි අතර ඉන් බොහොමයක් ක්‍රි. පූ. 3 වැනි සියවසත් ක්‍රි. ව. 3 වැනි සියවසත් අතර වෙතැයි අක්ෂරවල විකාශනය පිළිබඳ කරුණු අධ්‍යයනයේදී පැහැදිලි වේ. ඉහත කාලවකවානුවට අයත් ලෙන් ලිපි ඇතැයි හඳුනාගෙන ඇති මිහින්තලා ලෙන් සංකීර්ණය හා සස¼දා බලන විට එම ලෙන් ලිපි අක්ෂරවලට බෙහෙවින් සමානකම් මෙම ස්ථානයේ ලිපිවලින්ද හඳුනා ගැනීමට පිළිවෙන. මිහින්තලා සෙල් ලිපිවල එන “අ, උ, ක, ච, ර, ශ, ග, ම, ප, ත” වැනි පූර්ව බ්‍රහ්මී අක්ෂරවලට බෙහෙවින් සමාන අක්ෂර විළඳගොඩ ලෙන් ලිපිවලින්ද හඳුනාගත හැකිවේ.

Balumgala at Wilandagoda Aranya and Salawana Viharaya
Balumgala at Wilandagoda Aranya and Salawana Viharaya

ලිපි බොහොමයක්ම පේළි 1 – 3ත් අතර වේ. ලෙන් ලිපිවලට අමතරව සාලවන විහාරය ඉදිරිපිට ඇති පර්වත ලිපි 2 පිළිබඳව අවධානය යොමු කිරීමේදී එහි අක්ෂර අනුව ක්‍රි. ව. 5 වැනි සියවසෙන් පසුව පමණ වන්නට ඇතැයි හැඟේ. මේ අනුව යුග කිහිපයක මානව බලපෑම් විළඳගොඩ පුරාවිද්‍යා ස්ථානය වෙත යොමු වන්නට ඇති බවට සාධක මෙම ලෙන් හා ගිරි ලිපි මඟින් මනාව පැහැදිලි වේ.

Saliya Guhawa at Wilandagoda Aranya and Salawana Viharaya
Saliya Guhawa at Wilandagoda Aranya and Salawana Viharaya

වර්තමානය වන විටත් විධිමත් පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකර නැතත් මෙම ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් උරුම ස්ථානයක් ලෙස වෙන්කර ඇති බවට දැකගත හැකිවේ. සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව යටතේ දැනට පවතින නටබුන් ආරක්‍ෂා වුවද වර්තමානය වන විටද විවිධ අයුරින් පරිහානියට පත්ව ඇති නටබුන් සංකීර්ණය යම් තාක් දුරට හෝ සංරක්‍ෂණය කරගත යුතුව ඇත. ඒ සඳහා කඩිනමින් සෘජු මැදිහත් වීමක් අදාළ අංශ වෙතින් ලැබෙන්නේ නම් වඩා උචිත වේ. ඒ අනුව ඓතිහාසික, පුරාවිද්‍යාත්මක, ආගමික සහ අප සංස්කෘතික අනන්‍යතාවය යන වටිනාකම් රැසකින් යුතු මෙම ස්ථානය සුරක්‍ෂිත නොවන්නට අනාගත පරපුර සඳහා දායාද කළ නොහැකි මට්ටමේ හුදෙක් ඉතිහාසගත කරුණුවලට පමණක් සීමා වූ උරුමයක් බවට පත්වනු ඇත.

ඊ. ජී. නන්ද පද්මකුමාර
බී. ඒ. පුරාවිද්‍යා
මව්බිම

සම්බන්ධ වෙනත් පිටු

විළඳගොඩ ආරන්‍යය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

විළඳගොඩ ආරන්‍යය

විළඳගොඩ ආරන්‍යය ගමන් මාර්ගය

කොළඹ විළඳගොඩ ආරන්‍යය දක්වා
හරහා : මීගමුව – පුත්තලම
දුර : කිලෝමීටර 191
ගමන් කාලය : පැය 4
ගමන් මාර්ගය : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com
© www.amazinglanka.com

Leave a Reply