ශ්‍රී ලංකාවේ අවසාන වන්නි පාලක “වන්නි බණ්ඩාර” පරාජයවූ ස්ථානයේ ස්මාරකය (Vanni Bandara Memorial Plaque in Oddusuddan)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 1.00 out of 5)
Loading...

ශ්‍රී ලංකාවේ වන්නි ප්‍රදේශය ලෙස පුරාණයේ යාපනය හා රජරට අතර ප්‍රදේශ සැලකේ. සයිමන් කාසි චෙට්ටි (Simon Casie Chitti) විසින් වන්නියේ මායිම් ලෙස නැගෙනහිරින් ත්‍රිකුණාමලයද; බස්නාහිරින් මන්නාරම් බොක්කද; දකුණෙන් නුවරකලාවියද; උතුරෙන් යාපනයද වන බව 1836දී දක්වා ඇත.

මෙම කාලයේදී වන්නිය බෙහෙවින් වනගත ප්‍රදේශයක් වූ අතර වී ගොවිතැන සිදුවූයේ තැනින්තැන සුළුවශයෙන් පමණක් වූ බව පැවසේ. වන්නියේ ප්‍රධාන සැපයුම වූයේ ඇත් දළ, මුව මස්, මී පැණි, මී ඉටි, ගවයින්, කිරි, වෙඬරු හා පොල්ය. වන්නි වැසියන් මෙම දෑ වරායයන් ආශ්‍රිත ප්‍රදේශ වෙත ගෙනගොස් ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ හා හුවමාරු කර ගත්හ.

මෙම ප්‍රදේශ පාලනය කළේ වන්නි නම් වූ අධිපතීන් විසිනි. මොවුන්ගෙන් සමහරු ද්‍රවිඩයෝ වූහ. මේ වන්නිවරු රටේ දේශපාලන තත්ත්වය වෙනස්‌වීම අනුව සිංහල රජුට හෝ නල්ලූර් පාලකයන්ට කලින් කල පක්‌ෂපාත විය, බෙහෙවින්ම වනගත පෙදෙස්‌ පාලනය කළ නිසා ඔවුන් වන්නි නම් වූ බව මහාචාර්ය පරණවිතාන සලකයි. එමෙන්ම මහාවන්නි හා සිරීවන්නි (සුළුවන්නි) යනුවෙන් දෙවර්ගයක වන්නිවරුන් සිටි බවත් මහා වන්නිවරුන් 18 දෙනෙක්ද සිරිවන්නිවරුන් 364 ක්ද සිටි බවද ඔහු විස්‌තර කරයි.

මෙම ප්‍රදේශය හැඳින්වීම සඳහා වන්නි යන පදය පළමුවරට යෙදී ඇත්තේ 3 වැනි විජයබාහු රජු (ක්‍රි. ව. 1232-1236) සම්බන්ධයෙන් මහාවංශයේ සඳහන් විස්‌තරයේය. මෙම වන්නි යන පදයේ අර්ථය එතරම්ම පැහැදිළි නැතත් වන යන සංස්‌කෘත පදයෙන් බිඳී ආවක්‌ ලෙස සැලකිය හැකි බව අමරදාස ලියනගමගේ මහතා උපකල්පනය කරයි. III වැනි විජයබාහු රජු තම පාලන කටයුතු දඹදෙණියට ගෙනයාමට ප්‍රථම වන්නියේ සිට සේනා සංවිධානය කළ බැව්ද එහි දී ඔහු වන්නිරාජ ලෙසින් හඳුන්වා ඇති බවද මහාවංශයේ සඳහන් වේ.

මහනුවර රාජධානි සමයේ දී නුවර කලාවියේ වන්නිවරු තම පත්තුවේ ස්‌වාධීන පාලකයන් වූ හෙයින් වැසියන් විසින් රජයට ගෙවිය යුතු බදු ඔවුහු එකතු කළහ. එසේම චාරිත්‍රානුකූල ව නීති ක්‍රියාත්මක කෙරූ බවත් නඩු ඇසූ බවත් එමෙන්ම සම්ප්‍රදායන් කැඩූ අවස්‌ථා වල දී දඩ නියම කෙරූ බවත් ඩොයිලි වාර්තා කරයි. නුවර කලාවියේ වන්නිවරුන්ට මේ බලතල ලැබී ඇත්තේ පාරම්පරිකව බවත් තව දුරටත් ඩොයිලි විස්‌තර කරයි.

1621 දී යාපනය ප්‍රදේශය පෘතුගීසීන් විසින් යටපත් කරගත් පසු වන්නි ප්‍රදේශය ඔවුන්ගේ නාමික පාලනය යටතේ පැවති අතර ලන්දේසීන් යාපනය යටපත් කරගත් පසු 1782 ආසන්න කාලයේ ඔවුන් සියළු වන්නීන්ගෙන් කප්පම් ලෙස වාර්ෂිකව අලි ඇතුන් සපයන ලෙස අණ කළහ. වන්නීන් මෙම කප්පම් පැහැර හැරී විට ඔවුන් වන්නිය ආක්‍රමණය කොට එවකට වන්නි ප්‍රධානියා වූ “මරියා සෙම්බත්තේ” (Maria Sembatte) කොළඹට ගෙනගොස් සිරකරන ලද අතර ඇය මෙහිදී මිය ගියාය. මෙම ආක්‍රමණයෙන් පසුව වන්නියන්ගේ පාලනය සම්පූර්ණයෙන් ගිලිහිණි.

වසර කිහිපයක ගැටුම් අවසානයේ 1802දී ලංකාවේ ලන්දේසී පාළන ප්‍රදේශ ඉංග්‍රීසින් විසින් පවරාගන්නා ලදී. මෙතෙක් කල් නිහඬව සිටි වන්නියන් අතරින් වන්නි බණ්ඩාර (දෙමල: පන්ඩාර වන්නියන් – Pandara Vanniyan) නමැති වන්නියා මහනුවර රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සහය ඇතිව විරෝධතා සටනක් බ්‍රිතාන්‍යයන්ට එරෙහිව මෙම කාල වකවානුවේදී ආරම්භ කරන ලදී.

වන්නි බණ්ඩාර මුලතිවු දිස්ත්රික්කයේ කොලමුනේ ප්‍රදේශයේ වාසය කොට ඇති අතර අනුරාධපුර නුවරවැව පවුලේ සාමාජිකාවක හා විවාහයෙන් ඔහුට උතුරැ වන්නියේ හා දකුණු වන්නියේත් සහයෝගය තිබිණි.

වන්නි බණ්ඩාරගේ අරමුණ වූයේ වන්නිය බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් කොට ප්‍රධාන වන්නියා ලෙස වන්නිය පාලනය කිරීමයි. ඔහු සැඟවී පහර දෙමින් මුළු වන්නියම කැලඹු අතර යාපනයේ අලිමංකඩ දක්වා පරදීම් කලබව පැවසේ.

නමුත් කාසිචෙට්ටි පවසන්නේ වන්නි බණ්ඩාර නිර්භීත රණකාමියෙක් වූවද ඔහුගේ භටයන් හමුදා විනයෙන් තොර වූ අතර බ්‍රිතාන්‍ය රතු කබායන් දුටුවිට හටයන් දුවගොස් සැඟවී ප්‍රධානියා හා තවත් නිර්භීත භටයන් කිහිපදෙනෙකු පමණක් ප්‍රහාරයට ඉතිරි වූ බවය.

කෙසේ නමුත් වන්නි බණ්ඩාරගේ ප්‍රහාර බ්‍රිතාන්‍යයන්ට මහත් හිසරදයක් විය. ඔවුන් කිහිපවරක්ම වන්නි බණ්ඩාර ඇල්ලීමට හමුදා අනුඛණ්ඩ පිටත් කර හැරියද ඔහුව අල්ලාගැනීමට නොහැකිවිය.

නමුත් අවසානයේ බ්‍රිතාන්‍යය හමුදාවේ කැප්ටන් වොන් ඩ්‍රිබර්ග් (Captain Von Driberg) යටතේ 1803 වසරේ යාපනය, මන්නාරම හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශ තුනෙන්ම එකවර හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කොට ඔක්තෝම්බර් 31 වන දින ඔඩ්ඩුසුඩාන්හිදී අවසාන සටනෙන් වන්නි බණ්ඩාරගේ හමුදාව පරාජය විය. බ්‍රිතාන්‍ය හමුදාවන් වන්නි බණ්ඩාරගේ භටයින් විශාල සංඛ්‍යාවක් මරා දැමූ බවත්, 46දෙනෙකු සිර භාරයට ගත බවත් සඳහන් වේ. ඔවුන් අත්අඩංගුවට ගත් ආයුධ අතර මහනුවර රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වන්නි බණ්ඩාරට ලබා දෙනලද කාල තුවක්කුවක්ද වූ බව සඳහන්වේ. ඉන්පසු බ්‍රිතාන්‍ය හමුදාව ඔවුන්ගේ සියළු ගෙවල් ගිනිතබා විනාශ කර වන්නි බණ්ඩාරගේ පවුල් වනගත කොට පසුව වන්නි ප්‍රදේශයෙන්ම ඉවත් වූ බව සඳහන්ය.

මෙම සටනින් වන්නි බණ්ඩාර පරාජය වූවද බ්‍රිතාන්‍යයන්ට ඔහුව අල්වා ගන්නට නොහැකි විය. ඔහු මහනුවර රාජධානිය ආසන්නයේ සැඟවී සිට 1810 දී බ්‍රිතාන්‍ය හමුදා ප්‍රහාරයකින් තුවාලවී ඉන් මියගිය බව සඳහන්වේ.

වන්නි බණ්ඩාර අවසානයේදී පරාජය කල කැප්ටන් වොන් ඩ්‍රිබර්ග් (Captain Von Driberg) ඕලන්ද ජාතිකයෙක් විය. ඔහු ඕලන්ද නැගෙනහිර ඉන්දියා සමාගමේ (Dutch East India Company) කුලී හමුදාවේ සෙබලෙකු ලෙස වන්නි ප්‍රදේශයේ ස්ථානගත වී සිට ඇත. ජනප්‍රවාදයට අනුව ඔහු කිහිප වරක්ම ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ආධාර ලැබූ වන්නි බණ්ඩාරගේ හමුදාව අතින් පරාජය විය. වසර 1803 අගෝස්තු 25 වන දින නුවරකලාවිය (මහ වන්නිය) කුමාරසේකර දිසාවේ යටතේ නුවර රාජධානියේ හමුදාවක්, වන්නි බණ්ඩාරගේ හමුදාවත් යාපන වන්නියේ සටන්කාමින් හා එක්ව මුලතිවු බලකොටුවට ප්‍රහාරයක් දියත් කොට එහි සිටි කැප්ටන් ඩ්‍රිබර්ග් යටතේ වූ හමුදාව යාපනයට පලවාහැරීමට සමත්විය. මෙහි ප්‍රතිපලයක් වශයෙන් 1803 සැප්තැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය හමුදාව කුමාරසේකර සමග තවත් පිරිසක් රාජද්‍රෝහීන් ලෙස නම්කොට හිස ගසා දමන ලදී..

වසර 1903 ඔක්තෝම්බර් 31 අවසාන වන්නි බණ්ඩාර හමුදා හා සටන බ්‍රිතාන්‍ය හමුදාවන්ට කෙතරම් වැදගත් වූ වූවේද යන්න ඔවුන් සටන් භූමියේ සිටුවා ඇති ගලින් නිමයු සමරු පළකයෙන් උපකල්පණය කල ගත හැක. මෙහි මෙසේ සටහන් වේ.

HEREABOUTS
CAPTAIN
VON DRIBERG
DEFEATED
PANDARA
VAWNIYAN

31ST OCT
1803

සිංහලෙන්;

මෙම ප්‍රදේශයේදී
කැප්ටන් වොන් ඩ්‍රිබර්ග්
පන්ඩාර වන්නියන්
පරාජය කරන ලදි
31
ඔක්තෝම්බර්
1803

මුලතිවු දිස්ත්රික්කයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කච්චිලාමඩු ග්‍රාමයේ මෙම ස්මාරකය පිහිටා ඇත. ඔඩ්ඩුසුඩාන් සිට පුදුකුඩුරිප්පු මාර්ගයේ කිලෝමීටර 3.5ක් ගමන් ගත් විට හමුවන කච්චිලමඩු හන්දියෙන් වමට හැරී මීටර 600ක් පමණ ගමන්ගත් කල සියෙලඩි නම් ස්ථානයේ මාර්ගයේ වම්පසින් මෙම ස්මාරකය දැකගත හැක.

වන්නියේ ජීවත්වන සිංහල හා දෙමළ ජනතාව වන්නි බණ්ඩාර දේවත්යේ සලකති. අදත් ඔවුහු වනයක් තුලටඇතුල් වීමට පෙර වන්නි බණ්ඩාර දෙවියන්ගේ ආරක්ෂාව පතයි.

වසර 1982දී එකල ජනපති රණසිංහ ප්‍රේමදාස විසින් ඔහු ජාතික වීරවරයෙකු ලෙස නම්කොට මන්නාරම් පාර වව්නියාවේ A9 මාර්ගය හා එක්වන මංසන්ධියේ ඔහුගේ ප්‍රතිමාවක් විවෘත කරන ලදී. බ්‍රිතාන්‍යන් විසින් පිහිටුවන ලද ඉහත සඳහන් සමරු පලකය අසලද විශාල ප්‍රතිමාවක් සාදා ඇති බව පෙනේ.

දෙමල ජාතිකයින් පන්ඩාර වන්නියන් අනුස්මරණ දිනය ලෙස ඔහු මුලතිවු බලකොටුව ජයගත් අගෝස්තු මස 25 දින සෑම වසකදීම සාඩම්බරයෙන් සමරයි. මේ අතර දෙමළ ජාතිදීන් වන්නියන් වීර කාව්‍යයක් ලෙස හඳුන්වමින් කරමින් දෙමළ ත්‍රස්තවාදී LTTE නායක ප්‍රභාකරන්ට සමාන කරමින් නොයෙක් නවකතා හා එළිදක්වා ඇත.

මෙම ඵලකයට මීටර 25ක් පමණ නුදුරින් තගන්බු වෛරාජ් කෝවිල අසල පාරේ එක්පසක පැරණි මල් ආසනයක්යැයි සැලකිය හැකි වෘත්තාකාර ශෛලමය පුවරුවක් ඇතිබව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව වාර්තා කරයි. එහි විෂ්කම්භය සෙන්ටිමීටර 97ක්ද ඝනකම සෙන්ටිමීටර 18ක්ද වේ.

මූලාශ්‍ර :

  • අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව, පි 88-90
  • Archaeologysl.maps.arcgis.com. 2020. Web GIS Portal – Web GIS Unit. [online] Available at: <https://archaeologysl.maps.arcgis.com/home/index.html> [Accessed 13 September 2020].
  • ජයවර්ධන, ජ., 2014. මෙන්න වන්නියේ ඉතිහාස කතාව. දිවයින, [online] Available at: <https://www.divaina.com/2014/06/02/mano04.html> [Accessed 20 September 2020].
  • Casie Chitty, S., 1834. The Ceylon Gazetteer: Containing An Accurate Account Of The Districts, Provinces, Cities, Towns … &C. Of The Island Of Ceylon. 1st ed. Colombo: Cotta Church Mission Press, pp.218-220.
  • Somasundaram, D., 2014. Scarred Communities. 1st ed. New Delhi: SAGE Publications, p.52.
  • Martyn, J., 2003. Martyn’s Notes On Jaffna. New Delhi: Asian Educational Services, p.10.
  • Nawaratnam, C., 1960. Vanni And And The Vanniyas. 1st ed. Jaffna: Eelandu Limited.

සම්බන්ධ වෙනත් පිටු

වන්නි බණ්ඩාර පරාජයවූ ස්ථානයේ සමරු ඵලකය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

වන්නි බණ්ඩාර පරාජයවූ ස්ථානයේ සමරු ඵලකය රියදුරු දිශාවන්

ඔඩ්ඩුසුඩාන් සිට වන්නි බණ්ඩාර පරාජයවූ ස්ථානයේ සමරු ඵලකය දක්වා
හරහා : පුදුකුඩුරිප්පු පාර
මුළු දුර : කිලෝමීටර් 4
ගතවන කාලය : විනාඩි 10
ගත කිරිය යුතු කාලය : විනාඩි 15  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (5)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)