ගලින් නිමකළ අලවතුර ගණේගොඩ රජමහා විහාරයේ ණටබුන්

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (4 votes, average: 2.75 out of 5)
Loading...

බුලත්කොහුපිටියේ සිට කෑගල්ල මාර්ගයේ කිලෝමීටර 2½ (කෑගල්ලේ සිට කිලෝමීටර 23ක්) පමණ ගමන් කල ඕවලාකාර කඳුවැටි කිහිපයක් හමුවන අතර ගනේගොඩ කන්ද කෙත්යායක් පිටුපස හමුවේ. ගණේගොඩ රජමහා විහාරය මෙම කඳුවැටියේ අඩ දුරක පමණ උසින් පිහිටා ඇත.

මෙම විහාරය කෑගල්ල දිස්ත්රික්කයේ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අතර පුරාණ බෙදීම් වලට අනුව සතර කෝරළයට අයත් බෙලිගල් කෝරළයේ කඳුපිට පත්තුවට අයත් වේ.

මෙම විහාරයේ ආරම්භය පිළිබඳව මතවාද කිහිපයක් පවතී. ජනප්‍රවාදයට අනුව මෙම විහාරය වළගම්බා රජ දවස දක්වා ඈත අතීතයකට උරුමකම් පායි. නමුත් සද්ධර්මරත්නාකරයේ සීලවංශ ධර්මකීර්ති නම් හිමි නමක් මෙම විහාරස්ථානය ගොඩ නැංවීම සිදු කළ ආකාරය මෙසේ දැක්වේ;

තවද දේශාන්තරයෙහි ජරාවාසව තිබූ ශ්‍රී ධාන්‍යකටක නම් ගල්විහාරයක් කර්මාන්තයෙන් පෙර පරිද්දෙන්ම ප්‍රකෘතිමත් කරවමින් ……. ද ස්වදේශය වූ සිංහලද්වීපයට වැඩ බොහෝ පින් රැස් කරමින් අලවතුරේ පර්වතාග්‍රයෙහි වල්මෙහෙවරින් විසිතුරු විහාරයක් ද ……….

මින් ගම්පොළ යුගයේ වාසය කළ ධර්මකීර්ති හිමි දකුණු ඉන්දියාවේ ජරාවාසව තිබූ ධාන්‍යකටක නම් වූ ගල් විහාරය නැවත ඒ ආකාරයෙන්ම ගොඩනැඟූ බව හා ශ්‍රී ලංකාවේ අලවතුර පර්වතයේ විහාරයක් කළ බව කියැවේ.

එබැවින් පුරාවිද්‍යාත්මක හා ශාස්ත්‍රීය සාධක පදනම් කරගෙන ගොඩනැගිය හැකි මතය වන්නේ මෙම විහාරය ධර්මකීර්ති හිමිනම විසින් ගම්පොළ යුගයේදී ඉදි කළ බවයි.

මෙහි දැකගත හැකි නටබුන් අධ්‍යයනය කිරීමෙන් ගනේගොඩ විහාරය දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සාදා ඇති බව පෙනේ. මුලදී තෙමහල් ප්‍රාසාදයක් ලෙස පවතින්නට ඇතැයි සිතිය හැකි සාධක තිබුණද දැනට දැකගත හැක්කේ කුඩා විහාරස්ථානයකි.

1890 දශකයේ දී එච්. සී. පී. බෙල් මහතා විසින් කෑගලු කෝරළ වාර්තාවේ මෙම විහාරය පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඇතුලත් කොට ඇත. නමුත් ඔහු විසින් විස්තර කරන විහාරයේ බොහෝ කොටස් අද දක්නට නොමැත. මෙම කොටස් බොහෝ විට නිදන් හොරුන් විසින් විනාශ කළා විය හැක.

මෙම විහාරයට ළඟාවියහැකි හැක්කේ දියපාරකිනි. පඩි 250ක් වූ ශෛලමය පියගැටපෙළ ආරම්භ වෙන්නේ මෙම ජල පහර අසලිනි. අඩි 14X20 වූ ඇතුළු ද්වාර මණ්ඩපය හා අඩි 18½X21 වූ බාහිර මණ්ඩපයක්ද සහිත මෙම විහාරය පර්වතයට ඉදිරියෙන් වම් පසට යාව තිබෙන කළු ගල් වේදිකාවක් මත ගොඩනගන ලද්දකි. පර්වතයේ සිට තනි ඵලයකින් සාදා ඇති පියස්ස ද්වාර මණ්ඩප හා විහාරයේ සෙසු කොටස් වැසෙන තිබී ඇත.

පහළ වූ දොළපාර පෙදෙස දක්වාම පුරාණ විහාරයේ දැවැන්ත බාල්ක, කුළුණු බඳ හා කුළුණු හිස් කැබලි විසිරී තිබී ඇත. බෙල් මහතා විසින් දෙදිනක් පුරා ගැමියන්ගේ උපකාරයෙන් භූමිය මතුපිට වූ සියලූ නටබුන් කැබලි එක්රැස්කොට විහාර භූමියට ගෙනවිත් ඇත. මෙම නටබුන් භාවිතයෙන් ඔහු අඩි 6යි අඟල් 6ක් උස (ශීර්ෂ නොමැතිව) අර්ධ ආයත චතුරශ්‍රාකාර හා අර්ධ බහුකෝණාශ්‍රාකාර හැඩයෙන් යුත් කුළුණු තුනක් නැවත ප්‍රකෘතිමත් කොට ඇත. එයට අමතරව සිංහයන් විසින් උසුලාගෙන සිටින කුළුණු තුනක් හා ඒ සමාන බඳින් යුත් කැටයම් කොට ඇති චතුරස්‍රාකාර පාදම් සහිත කුළුණු දෙකක්ද නගාසිටුවා ඇත. මෙසේ ප්‍රකෘතිමත් කරනලද ශෛලමය කුළුණු වර්ග තුන ඔහු විසින් පහත දැක්වෙන පරිදි චිත්‍රයට නගා ඇත.

සිව්රැස් කුළුණු 3හි එක් එක් පැත්තෙහි පනේල සැරසිලි එකිනෙකට වෙනස්ය. විවිධ වර්ගයේ මල් සැරසිලි, මොනරුන් හා බුදු පිළිමයන්ගෙන් මෙම පනේල සරසා තිබී ඇත. සිංහ කුළුණු එකිනෙකට වෙනස් වන්නේ වලිගයේ නැම්මෙන් පමණි. මෙවන් කැටයමින් යුත් කුළුණු දකුණු ඉන්දියාවේ කොංජිවරම් හි දක්නට ලැබෙන බව ඔහු පවසයි.

අද දක්නට ඇති ව්‍යාඝ්‍ර පේකඩද ප්‍රකෘතිමත් කොට ඇත්තේ ඔහු විසිනි. අර්ධ උන්නත් කැටයමින් කල අඟල් 12×8 ප්‍රමාණයේ ව්‍යාඝ්‍රයන් සහිත විශාල බොරදමක හෝ ලීස්තරයක ශෛලමය කැබලි හයක් විවිධ ස්ථාන වලින් ඔහු සොයාගෙන ඇත. ඉන් එකක් සොයාගෙන ඇත්තේ ඔය කරා යන පියගැට මුල ආසන්නයෙන්ය. මෙම ව්‍යාඝ්‍ර රූප ශෛලමය පුවරු හතරක දකුණු ඉදිරි පාදය ඉහලට ඔසවා හිස පිටුපසට හරවා වම් පසට ගමන් කරන පරිදි නෙළන ලද සත්ව රූප වේ. මෙම සාම්ප්‍රදායික ඉරියව්ව බොහෝවිට ව්‍යාඝ්‍රයන්ට හා ගජසිංහ රූපයන්ට ආරෝපණය කරනු ලැබේ. පස්වන ශෛලමය කැබැල්ලේ එකාට සම්මුඛ වන සේ නෙළන ව්‍යාඝ්‍රයන් දෙදෙනෙකි. විරුද්ධ දිශාවට ශරීරය ඇති ව්‍යාග්‍රයාගේ හිස ඉදිරි පසටද දකුණු ව්‍යාග්‍රයාගේ හිස පිටුපසටද කැටයම් කොට ඇත. කොන් ගලක් ලෙස හඳුනාගත් ශෛලමය කොටසක අඟල් 8½ක් පමණ පමණ වූ විහිදාගත් පෙනය සහිත මනාව නෙලන ලද නාග රූපයක් ද, අඟල් 17×16 වූ කුඩා ශෛලමය පුවරුවක වමත උකුල මත තබා දකුණින් අසිපතක් දරා සිටින මිනිස් රුවක් ද හමුවී ඇත.

විහාරයට ඇතුළුවීම සඳහා ශෛලමය පියගැට පෙළක් වේ. ඒ දෙපස ගජසිංහ රූප සහිත කොරවක් ගල් 2ක් දක්නට ඇත. මෙම ගජසිංහ කැටයම යාපහුව හා කප්පාගොඩ (බ්‍රහ්මවර්ධනපාය) රජමහා විහාරයේ කැටයමට බෙහෙවින් සමානතාවයක් පායි.

HCP මහතා විසින් නොගැඹුරු ලෙස කැටයම් කළ පලාපෙතිමය දාර සහිත අඩි 5 අඟල් 8 x අඩි 2 අඟල් 10 වූ ශෛලමය දොර උලුවස්සකින් පිවිසීමෙන් ඇතුල් ද්වාර මණ්ඩපයට පිවිසිය හැකි බවත් එහි උඩලිපතේ ඇති කුඩුම්බි තව් නිසා දෙවනගල මෙන් මෙම දොර පියන්පත් දෙකකින් සමන්විත වී තිබිය හැකි බවත් වාර්තා කොට තිබේ. මෙම ශෛලමය දොර උලුවස්ස අද දක්නට නොමැත.

විහාරය වටා ඇති මාලකය මද්‍යයේ සෝපානය දකුණු දෙසින් අඩි 8 අඟල් 3ක් දිගැටි හා අඟල් 8ක් ගැඹුරැති නලඟනන්ගේ හා බෙර වයන්නන් ගේ කයියෝරුවකි. මෙහි මද්‍යයේ ත්‍රී නාටක ස්ත්‍රී රූපයකි. රංගනයේ යෙදෙන ස්ත්‍රීන් තුන් දෙනෙකු එක්කොට පාද යුගල දෙකක් පමණක් පෙනෙන සේ මෙම නිර්මාණය කැටයම් කොට ඇත.

මෙම කැටයම් යාපහුවේ සෝපාන පංතියේ ඇති කැටයම් සහ ගඩොලාදෙනිය, නියම්ගම්පාය වැනි ස්ථානවල ඇති කැටයම් හා සමානතාවයක් පෙන්නුම් කරයි. යාපහුව හා ගඩලාදෙණියේ ස්ත්‍රී රූප සරාගී ආකාරයෙන් නිරූපණය කර ඇති අතර මෙහි ස්ත්‍රී රූප සජීවී නමුත් විනීත පෙනුමකින් නිරූපණය කොට ඇති බව බෙල් මහතා පවසයි.

බෙල් මහතාගේ වාර්තාවට අනුව විහාරගෙය තුල ඇත්තේ එක හිඳි බුදු පිළිමයක් පමණි. ගලෙන් නෙළා ඇති මෙම බුදු පිළිමය අඩි 3 අඟල් 3 x අඩි 2 අඟල් 7 පළල ද වූ අතර එය දොර දෙසට මුහුණලා වැඩ සිටී. මෙම පිළිමය වැඩ සිටින අඩි 2 අඟල් 3 උස ආසනයද ගලින්ම නෙළාඇත., කැටයම් කොට ඇති එය එක් අංශයකින් දිස්වෙනසේ නිරූපිත සිංහ රූප වලින් සමන්විත විය. දකුණු බිත්තිය ඉදිරියෙන් පිටතට වන්නට විෂ්ණු සමන් හා නාථ දෙවියන්ගේ රූප මැටියෙන් අඹා තිබී ඇත. නමුත් 1886දී මෙම සැරසිලි නවීකරණය කිරීම් සඳහා ප්‍රයෝගකරුවෙකුට භාර දී ඇතිබවත් ඔහුගේ ශිල්පීය හැකියාවන් ඉතා දුර්වල බවත් ඔහු වාර්තා කරයි.

ගරා වැටෙමින් පවතින මෙම විහාරය බෙල් මහතාට අනුව කෑගලු දිස්ත්රික්කයේ තිබෙන එකම ශෛලමය විහාරස්තානයයි. 2018දී පියගැටපෙළ හා පැති බැමි ප්‍රතිසන්රක්ෂණය කලද මෙහි විශාල වැඩ කොටසක් කල යුතුව ඇත. මෙම ස්ථානයේ දුෂ්කර භාවය නිසා පොහොය දිනවලද මෙම ස්ථානයට පැමිණෙන්නේ සුළු පිරිසකි. එබැවින් මෙහි නඩත්තු කටයුතු අතපසු වී ඇතිවා පමණක් නොව නිදන් සොරුන්ගෙන්ද ආරක්ෂා කර ගැනීම අපහසු වී ඇත.

මූලාශ්‍ර 

  • H.C.P බෙල් (සිංහල පරිවර්තනය කොත්මලේ කේ. බී. ඒ. එඩ්මන්ඩ් ), 2005. ලංකා පුරාවිද්‍යා ගවේෂණය කෑගල්ල දිස්ත්‍රික්කය පිලිබඳ වාර්තාව (Report On The Kegalle District – 1892 : සිංහල පරිවර්තනය). 1st ed. කොළඹ: පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව.
  • ආර්. ඩී. ධනුෂ්ක පුෂ්පකුමාර, 2020. අලවතුර ගණේගොඩ රජමහා විහාරයේ පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳ විමර්ශනයක්. පුරාවිදු වැලිපිළ, 1(3).

සම්බන්ධ වෙනත් පිටු

අලවතුර ගණේගොඩ රජමහා විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

අලවතුර ගණේගොඩ රජමහා විහාරය රියදුරු දිශාවන්

කොළඹ සිට අලවතුර ගණේගොඩ රජමහා විහාරය දක්වා
හරහා : අවිස්සාවේල්ල – රුවන්වැල්ල – බුලත්කොහුපිටිය
මුළු දුර : කිලෝමීටර් 83
ගතවන කාලය :පැය 2 (+ගල්පඩි 250)
ගත කිරිය යුතු කාලය : පැය 1-2 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com