වාහල්කඩ D4 වෙහෙරගල රජමහා විහාරය (Vahalkada D4 Veheragala Rajamaha Viharaya)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 3.33 out of 5)
Loading...
Eranda Nalin Karunarathe
By Eranda Nalin Karunarathe

මාගේ රජරට වන්නි සංචාරයේ දෙවන පියවරේ සමාරම්භකත්වය මෙසේ සනිටුහන් කිරීමට අවසර… මීට සති දෙකකට පෙර මා වාහල්කඩ ගම්මානයෙන් සමුගත්තත් නැවතත් මාගේ පවුලේ උදවියත් රැගෙන සති දෙකකට පසු මාගේ සිත්ගත් වාහල්කඩ ගම්මානයට යලිත් පිවිසුනා. සංචාරයේ පළමු දිනයේම මා මීටපෙර ඔබව චාරිකා සටහන් ඔස්සේ දනුවත්කල සිංහයා උල්පත, වාහල්කඩ වැව සහ යාන්ඔය ජලාශය වැනි ස්ථාන නරඹා ඒ පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමෙන් පසු ගම්මානයට පිවිසෙන මාර්ගයේ පිහිටි වනරජදහන පසුකිරීමෙන් පසු හමුවන D4 වෙහෙරගල රාජමහා විහාරය නැරඹීමට යාමට තමයි මාගේ මේ සූදානම.

අවම තරමේ Google සිතියමේ හෝ අන්තර්ජාලයේ කිසිදු ස්ථානයක සවිස්තරාත්මක සටහනක් හෝ දක්නට නොලැබෙන මෙම පුදබිම අනුරාධපුර යුගයේ සිටම ඉතා අසිරිමත්ව පැවතෙන්නක් බව එහි පිහිටා ඇති පුරාවිද්‍යාත්මක සාධක අනුව මට පෙනීගියා. වාහල්කඩ පොලිස් ස්ථානය ඉදිරිපිට මාර්ගයේ වම් පසින් තරමක් උස් භූමියක පිටා ඇති මෙම විහාරය වනඅලි රජකරන භූමියක පිහිටා තිබුනත් මෙහි වැඩවසන ස්වාමීන් වහන්සේලා ඔවුන්ට බිය බවක් නම් පෙන්වූයේ නැහැ…

වළගම්බා රාජ සමයේදී ඉදිකොටඇතැයි විශ්වාස කෙරෙන මෙම පුදබිම 2019 වර්ෂයේදී ඉදිකරනලද විහාරස්තානයට පිවිසෙන වාහල්කඩ දොරටුව දක්මෙන්ම මෙය පුරාන විහාරස්ථානයක් බව මාහට හැඟීගියා. විහාරස්ථානයට ඇතුළුවූ පසු නූතන විහාරාංගයන්ගෙන් සමන්විත ‘විහාර භූමියක්’ දැකගන්නට පුළුවන්. විහාරයේ දකුණු පසින් මදක් ඔබ්බට වන්නට අනුහස් සපිරි පැරණි බෝධි වෘක්ෂයක්ද දක්නට ලැබෙනවා. බුදුකුටියක් සහිත ධර්ම ශාලාවක්, තරමක් පැරණි ආවාසගෙයක්, දහම්පාසැල් ගොඩනැගිල්ලක් සහ අලුතින් ඉදිවන අටවිසි බෝධි ප්‍රාකාරයක්ද විහාරස්ථානයේ පහල කොටසේදී දැකගත හැකියි.

විහාරස්ථානයේ පහල කොටසේ සිට ඉහල කොටස දක්වා ගමන් කිරීමට මෑතකදී තැනූ කොන්ක්‍රීට් මාර්ගයක් පිහිටා තිබෙනවා. එය ඉහල පිහිටා ඇති ගල් තලාව මතින් අවසන් වනවා. තරමක් උස් පර්වතයක් වනමෙහි පුරාවිද්‍යා නටඹුන් රාශියක් දක්නට ලැබෙනවා. ඒ අතර නිධන් සොරුන්ගේ ග්‍රහණයට ලක්වී ගරාවැටුණු ඉපැරණි චෛත්‍ය දෙකක්, පස් වලින් වැසීගිය වජ්රාසනයක්, තැන තැන විසිරුණු ගල්කණු රාශියක්, පොකුණු පද්ධතියක්, පැරණි උමගක් සහ ඉපැරණි ගොඩනැගිලි දෙකක නෂ්ඨාවශේෂද වනවා. වනය තුලට වන්නට ඉපැරණි ගල්ලෙන් කිහිපයක්ද පිහිටා තිබෙනවා.

අලුතින් ඉදිකරනලද චෛත්‍ය රාජයාණන් වහන්සේත්, ඝාන්ටාර කුලුනත් නිමවෙමින් පවතින ධාතු මන්දිරයකුත් තමයි නූතන ඉදිකිරීම් ලෙස පර්වතය මුදුනේදී දැකගත හැකි වන්නේ. මීට අමතරව පර්වතයේ බටහිර දෙසින් තරමක් පහලට වන්නට හිනිමගක සලකුණක් මෙන්ම චෛත්‍යට පහලින් පිහිටි පොකුණක් අසල නාගයින් දෙදෙනෙකුගේ සලකුනක්ද විශාල පහනක සලකුනක්ද දක්නට ලැබෙනවා.

පර්වතයේ එක්තරා ස්ථානයක වර්ග මීටර එකහමාරක පමණ ඉතා සුමට ස්ථානයක්ද පිහිටා තිබෙනවා. මේවා නිධන් ලකුණු යැයි සමහරුන් පැවසුවත් මෙම පර්වතයේ කිසිදු ස්ථානයක එවැනි දෙයකට ඉඩක් ඇතිබවක් මාහටනම් පෙනුනේ නැහැ. ඒ මෙය හුදෙක්ම අතීත මහරහතුන් වහන්සේලා වැඩසිටි පින්බිමක් මිස ධනවතුන්ගේ වස්තුව තැන්පත්කළ ස්ථානයක් නොවනනිසා. බොහෝදෙනා විශ්වාස කරන්නේ මෙවැනි සිද්ධස්ථානවල අතීතයේ අනාගත ප්‍රයෝජනය පිණිස නිධන් ලකුණු තබා වස්තුව තැන්පත් කොට ඇතැයි කියාය. නමුත් එය හුදෙක් මතවාදයක් සහ ජනප්‍රවාදයක් පමණි.

පර්වතය මුදුනේදී දක්නට ලැබෙන ස්වභාව සෞන්දර්යෙන් අනුනවූ හාත්පස පරිසරයේ අසිරිය නෙතඟට ගෙනදෙන්නේ වචනයෙන් කිව නොහැකි ඉමිහිරි ආශ්වාදයක්. පර්වතයට දකුණු පසින් අලිඇතුන් ගැවසෙන මහා වනාන්තරයයි. ඈතින් වාහල්කඩ වැවේ උතුරු කොටස දක්නට ලැබෙනවා. තැන තැන විසිරුණු කුඩා වැව් කිහිපයක් මෙන්ම විහාරස්තාන කිහිපයක්ද දක්නට ලැබෙනවා. ගොවීන්ගේ ගොවිබිම් නිල්වන් පැහැයෙන් දිස්වනවා. කෙතරම් ශුෂ්ක ප්‍රදේශයක් වුවත් වාහල්කඩ වැවේ පිහිටෙන් ගම්මානයේ ගොවිතැන් කටයුතු සාර්ථකව සිදුවෙමින් පවතිනවා.

ස්වයංපෝෂිත ආර්ථිකයකට හිමිකම් කියන මෙහි ජනතාව රජයෙන් හෝ වෙනත් ආයතනයකින් පිහිටක් නොලබාම සිය ආර්ථිකය ශක්තිමත් කොටගෙන සිටිනවා. බීමට ඇති ජලය හිගකම සහ වනඅලි තර්ජනය නොමැතිනම් මීටවඩා මෙම ගම්මානය සුරක්ෂිත වනු ඇතැයි මාගේ හැඟීමයි.

මීට වසර කීපයකට කලින් වල් බිහිවී පැවති මෙම විහාරස්ථානය අද මෙම තත්වයට හෝ නගා සිටුවීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ මෙහි වැඩවාසය කරන පූජ්‍ය බද්දේවෙල චන්ද්‍රානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ සහ මීට වසර පහකට පමණ පෙර මෙම ස්ථානයට වැඩි බේරුවල සීලානන්ද පොඩි හාමුදුරුවන් වහන්සේයි. ඒ අතරින් බේරුවල සීලානන්ද පොඩි හාමුදුරුවන් වහන්සේ විසින් ගමේ ජනතාව සමග එක්වී විහාරස්ථානය වෙනුවෙනුත් ගම වෙනුවෙනුත් දැනටමත් ඉමහත් සේවයක් කරමින් පවතිනවා.

මෙහි දක්නට ලැබෙන නූතන ඉදිකිරීම් සියල්ලේම පාහේ ආරම්භකයා වන්නේ බේරුවල සීලානන්ද පොඩි හාමුදුරුවන් වහන්සේයි. මා සමග ඉතා සුහදවූ උන් වහන්සේ විහාරස්ථානය පිළිබඳවත් වාහල්කඩ ගම්මානය පිළිබඳවත් මෙහි ජනතාවට ඇති ගැටළු පිළිබඳවත් බොහෝ කරුණු කාරනා මා සමග පැවසුවා. උන්වහන්සේට මේ ගම පිළිබඳවත් මෙහි වෙසෙන ජනතාව පිළිබඳවත් ඇත්තේ ඉතා නිහතමානී හැඟීමක්. එමනිසාම ඔවුන් වෙනුවෙන් කැපවී උන් වහන්සේ කටයුතු කරනු ලබනවා. මීට වසර පහකට පමණ පෙර අංශභාග රෝගී තත්වයට ගොදුරුවූ බද්දේවෙල චන්ද්‍රානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේටද ඇප උපස්ථාන කරමින් විහාරස්තානයට පැමිණෙන සියලු දෙනාටද ඉතා හොඳින් සංග්‍රහ කරමින් උන් වහන්සේ ගෙනයන ධාර්මික වැඩපිළිවෙල ඇත්තෙන්ම අගය කල යුතුයි. එමනිසාම උන් වහන්සේගේ ඇරයුම මත එදින රාත්‍රිය සිය විහාරස්ථානයේ ගතකරන ලෙස උන් වහන්සේ කල ඉල්ලීම මාහට ප්‍රතික්ෂේප කිරීමට නොහැකිවුනා.

සීලානන්ද ස්වාමීන් වහන්සේගේ ඇරයුමින් වෙහෙරගල පුදබිමේ රාත්‍රිය ගත කිරීමෙන් පසු උදෑසන අවදිවූ මාගේ ප්‍රථම රාජකාරිය බවට පත්වුයේ වනගතව පිහිටා ඇති වෙහෙරගල පුදබිමට අයත් පුරාන ගල්ලෙන් සමූහය සොයායෑමයි. මාගේ පුතණුවන්ද ඒ සඳහා සහභාගී කරගත්මා සීලානන්ද පොඩි හාමුදුරුවන්ගේ මග පෙන්වීම ඔස්සේ නැවතත් පර්වතය තරණය කොට පර්වතයට උතුරු දෙසින් පිහිටා ඇති වනයට ඇතුළුවූවා.

පර්වතයේ තැනින් තැන අලි වසුරු දක්නට ලැබුනත් ඒ ගැන කිසිදු තැකීමක් නොකළ උන් වහන්සේ නොසිටින්නට මාහට තනිවනම් ගොස් එම ගල්ලෙන් සංකීර්ණය සොයාගැනීමට අපහසුවනවා නොඅනුමානයි…. මෙම ගල්ලෙන් පද්ධතිය කරා පිවිසීමට නිවැරදිව සකස්කළ මාර්ගයක් දක්නට ලැබෙන්නේ නැහැ. හාත්පස සිසාරා පවතින්නේ දැඩි වනගහනය පමණයි. අතුරිකිලි සහ වැල් කඩා දමමින් මාර්ගයක් සකස් කරගනිමින් තමයි අප මෙතැනට පිවිසුනේ. නමුත් ගල්ලෙන් කරා පිවිසෙන භූමියේ තැනින්තැන පුරාවස්තු සහ නටඹුන් රාශියක් වනගතව විසිර පවතිනවා. කුඩා පොකුණු කිහිපයක්ද දක්නට ලැබෙනවා. මෙම වනයේ විශාල බෙහෙත් පැලෑටි ප්‍රමාණයක්ද පවතිනබව මට පෙනීගියා.

ලෙන් පද්ධතියේ ප්‍රථම ලෙන දිස්වෙද්දී මාහට සිහිවුයේ කොක්ඇබේ පුරාවිද්‍යා භූමියේ සහ මහකච්චකොඩිය ගල්ලෙන් සමූහයේ මා කල සංචාරයයි…. මෙහි ප්‍රධාන වශයෙන් ලෙන් තුනක් දක්නට ලැබෙනවා. ප්‍රථමයෙන්ම හමුවන ලෙනේ කටාරමට යටින් බ්‍රාහ්මීය අක්ෂර කොටා තිබෙනවා. එහි දැක්වෙන්නේ ‘අබා සෙල මෙවන්‘ යන වදන් පෙළ බවයි ස්වාමීන් වහන්සේ මාහට පවසා සිටියේ. ඒ අනුව කිත්සිරි මේඝවර්නාභය යන නාමය එයින් අර්ථ ගැන්වෙන බව උන් වහන්සේ වැඩි දුරටත් පවසා සිටියා. නමුත් කිත්සිරි මේඝවර්නාභය යනු කිත්සිරි මෙවන් රජතුමාද නැතිනම් වෙනත් අයෙකුද යන්න පැහැදිලි නැහැ. කෙසේ නමුත් එම නම සඳහන් කුමරුවන් විසින් මෙය ආරාම සංකීර්ණයක් කොට ප්‍රධානය කරන ලදැයි අපට සිතාගත හැකියි.

මෙම ලෙනේ භාවනානුයෝගීව වැඩ හිඳීම සඳහා සකස්කළ කඩා බිඳ දැමු ගල් බන්කුවක්ද පිහිටා තිබෙනවා. ගරාවැටී ඇති ගඩොල් සහ වරිච්චි බිත්තියකින් වටවූ මෙම ලෙන හොඳින් සකස්කළහොත් අදටත් ප්‍රයෝජනයට ගතහැකිබව මට පෙනීගියා. මෙම වරිච්චි බිත්තිය බොහෝවිට නුවර යුගයේදී පමණ ඉදිකරන ලද්දක් වියහැකියි. මෙම ලෙනට දකුණු පසින් වනය තුලට වන්නට පිහිටා ඇති අනෙක් ලෙන් දෙකේද කටාරම් කොටා සකස් කොට තිබෙනවා. ස්වාමීන් වහන්සේ පැවසු පරිදි වනය තුලට වන්නට තවත් ලෙන් කිහිපයක් පිහිටා තිබුනත් ඒවාට ගමන් කිරීමට මාර්ගයක් නොමැතිකම නිසාත් දඩයක්කරුවන් විසින් සතුන් දඩයම් කිරීම පිණිස තුවක්කු බැඳ ඇති නිසාත් එහි ගමන්කිරීම අනාරක්ෂිත බව මාහට හැඟීගියා..

සම්බන්ධ වෙනත් පිටු

වාහල්කඩ D4 වෙහෙරගල රජමහා විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

වාහල්කඩ D4 වෙහෙරගල රජමහා විහාරය රියදුරු දිශාවන්

නුරාධපුර සිට වාහල්කඩ D4 වෙහෙරගල රජමහා විහාරය
හරහා : කහටගස්දිගිලිය – හොරොව්පතාන
මුළු දුර : කිලෝමීටර් 89
ගතවන කාලය : පැය 2
ගත කිරිය යුතු කාලය : විනාඩි 45 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply