පදවිය බුද්ධංගල රජමහා විහාරය නටබුන්

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 3.33 out of 5)
Loading...
Eranda Nalin Karunarathe
By Eranda Nalin Karunarathe

බුද්ධන්හෙල , බුදුන්ගේහෙල වශයෙනුත් ග්‍රාමීය ව්‍යවහාරයේ දැක්වෙන මෙම බුද්ධංගල රාජමහා විහාරස්ථානය උතුරු පළාතත්, උතුරුමැද පළාතත්, නැගෙනහිර පළාතත් වෙන්කරන පළාත් මායිම ආසන්නයේම පිහිටි ඉතා වැදගත් ඓතිහාසික සිද්ධස්ථානයක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඊසාන දිග කෙලවරට වන්නට පිහිටි මෙම පුදබිම පුරාවිද්‍යා නටඹුන් සහ ස්මාරක රැසකින් සපිරි උස් පර්වත යුගලයකින් සැදුම් ගෙන තිබෙනවා. පදවිය නගරයට විත් ඔබ මෙහි පැමිනෙනවානම් පදවිය හන්දියේ සිට උතුරු දෙසට තනි කෙලින් පිහිටුවා ඇති බණ්ඩාරනායක මාවත ඔස්සේ කිලෝමීටර 6ක දුරක් ගමන් කිරීමෙන් පසු වම් පසින් මෙම පුදබිමට පිවිසෙන මාර්ගය වැටී ඇති ගම්මානය වෙතට මාර්ගය අද්දර පිහිටා ඇති ඇති වාහල්කඩ දොරටුව හරහා ඇතුළුවී තවත් කිලෝමීටර එකහමාරක පමණ දුරක් ගමන් කිරීමෙන් පසු මෙම පුදබිමට පහසුවෙන් ලඟාවිය හැක.

‘බුද්ධංගල’ යන නාමයෙන් හඳුන්වන වෙහෙර විහාර රාශියක් ලක්දිව තුල පිහිටුවා තිබෙනවා. ඒ අතරින් සුප්‍රසිද්ධම ස්ථානය වනුයේ අම්පාර බුද්ධංගල රාජමහා විහාරස්ථානයයි. බුද්ධංගල කී සැනින් බොහෝ දෙනාගේ සිතට නැගෙන්නේ මෙම අම්පාර බුද්ධංගල රාජමහා විහාරය පිළිබඳවයි. නමුත් තරමක් අප්‍රසිද්ධව පිහිටා ඇතත් මෙම පදවිය බුද්ධංගල රාජමහා විහාරයද ලක්දිවතුල ඓතිහාසිකමය වශයෙන් ඉතා වැදගත්කමක් උසුලන තවත් එක් පුරාවිද්‍යා ස්ථානයක්. මන්දයත් මෙහි ඉතිහාසය දේවානම්පියතිස්ස යුගය දක්වා විහිදෙන නිසාය.

අතීත ප්‍රාචීන ඛණ්ඩ රාජ්‍යයේ හෙවත් නැගෙනහිර කඩරොද රාජ්‍යයේ තවත් එක් සුවිශේෂී බිම්කඩක් ලෙස මෙම සිද්ධස්ථානය හඳුන්වන්න පුළුවන්… පදවිය ප්‍රදේශයේ කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවා ඇති වෙහෙර විහාරස්ඨාන අතර ඉතා ප්‍රසිද්ධ ප්‍රධානතම විහාරස්ථානය මෙයලෙස හඳුන්වන්න පුළුවන්. මීටර් 80-100ත් අතර උසකින් සුසැදි සුවිසල් ගල් පර්වත දෙකක් මූලිකකොට ගෙන තමයි අතීතයේ මෙම විහාරස්ථානය බිහිවෙලා තියෙන්නේ. මෑතකාලීනව තැනූ ගල්පඩි රාශියකින් සුසැදි පියගැටපෙළක් තරණය කිරීමෙන් පසු පළමු පර්වතයේ මුදුනට ලඟාවිය හැකි වනවා.

දෙවන පර්වතය වෙත යාමටනම් පළමු පර්වතයේ සිට වනගත අඩි පාරක් ඔස්සේ ගමන් කලයුතු වනවා. පර්වතයන් ආශ්‍රිතව කටාරම් කෙටූ ගල්ලෙන් රාශියක් පිහිටා ඇති අතර අදවනවිට ඒවායින් කිහිපයක්ම නූතන චිත්‍ර කර්මාන්තයෙන් විචිත්‍රවත් කොට තිබෙනවා. ඉන් ප්‍රධානතම ලෙන පිහිටියේ පළමු පර්වතය මුදුනේයි. පර්වතයට පිවිසෙන පියගැටපෙළ අතරමගදී දකුණට වැටී ඇති මාර්ගයේ ගමන් කිරීමෙන් මෙහි පිහිටා තිබෙන ලෙන්භූමියට යාමට හැකිවනවා. මින් ප්‍රධානතම ලෙන බුද්ධ මන්දිරයක් ලෙස පිළිසකර කොට තිබෙනවා. එය පසු කරමින් වම් පසින් ඉදිරියට යාමේදී සුවිශේෂී හැඩයකින් පිහිටා ඇති තවත් ගල්ලෙන් දෙකක් දැකගත හැකිවනවා.

මෙම මාර්ගය ඔස්සේද ඉදිරියට යමින් පර්වතය මුදුනට ළඟාවීමේ හැකියාව පවතිනවා… පර්වතය මුදුනේ ඉපැරණි ස්ථුපයක් පැවති බවට සාක්ෂි තිබුනත් අදවනවිට එවැන්නක් දක්නට ලැබෙන්නේ නැහැ. පර්වතය මුදුනේ පිහිටා ඇති තවත් පර්වතයක් හාරා සාදා නිමකර ඇති ගල්ලෙනෙහි පිහිටීම ඉතා චමත්කාරයි. එකම පර්වතයේ තැනින් තැනින් හාරා පර්වතය වටාම ලෙන් බිහිකර ඇතිබව පර්වතය වටා ගමන් කිරීමේදී මාහට හැගීගියා.

ප්‍රධාන ලෙන විචිත්‍රවත් චිත්‍රයෙන් ඔපදමා ඇති අතර එයට දකුණු පසින් ඇති කුඩා ලෙනක පෞරාණික නටඹුන් සහ ස්මාරක රැසක් තැන්පත් කර ඇති අයුරු දැකගන්නට පුළුවන්. විචිත්‍රවත් ගල් පියස්සකින් සැදුම්ලත් මෙහි ඉපැරණි සිරිපතුල් ගල්, යුපගල්, නටඹුන් වූ බුද්ධ ප්‍රතිමාවක් සහ උඩුයටිකුරු කරන ලද ටැම් ලිපියක් ඇතුළු පුරාවස්තු රාශියක් දැකගත හැකියි. පර්වතයේ වම් පසින් ඉපැරණි ගොඩ නැගිල්ලක ගල්කණු රාශියක්, නෙළුම් හැඩැති බුදු පිළිමයක පදික වේදිකාවක්, පාෂාණ කපන ලද ද්‍රෝණියක් ආදිය දැකගත හැකියි. මෙහි ඝාන්ටාර කුලුන පිහිටා ඇති පර්වතය ආසන්නයේ භාවනානුයෝගීව සිටීම සඳහා පිළිසකර කරන ලද තවත් එක් කුඩා ලෙනක් දැකගන්නට පුළුවන්.

පර්වතය මුදුනේදී ලෙන් පර්වතය වටා පිහිටි පොකුණු රාශියක් දැකගන්නට පුළුවන්. මින් ප්‍රධානතම පොකුණ ලෙන ඉදිරිපසට වන්නට පිහිටුවා තිබෙනවා. අනෙක් ඒවා ලෙන පිටුපසට වන්නට තමයි පිහිටලා තිබෙන්නේ. මින් එක් පොකුණක් ‘ලිං පොකුණක්’ ලෙස නිමවා තිබෙනවා. ඉදිරිපස පොකුණේ වම් පසින් පාෂණයේ කරවන ලද සෙල්ලිපියක් වන්නක් දැකිය හැකිනමුත් ආරක්ෂාවක් නොමැති කමින් අද වනවිට එවැන්නක් තිබේදැයි කියා සිතාගැනීමටවත් බැරි තරමට විනාශවී ගොස් තිබෙනවා. ලෙනේ පිටුපසින් පිහිටි පොකුණු දෙක අතරමැද යම් සලකුණක් දක්නට ලැබෙන අතර එය කුමක්දැයි පැහැදිලි නැහැ.

මෙම භූමියෙන් පාෂාණ සෙල්ලිපි දෙකක් සහ කුළුණු සෙල්ලිපි දෙකක් සොයාගෙන ඇති අතර මෙහි දක්නට ඇති ටැම්ලිපිය 9 හෝ 10 වන සියවස්වලට අයත්බව පූජ්‍ය එල්ලාවල මේදානන්ද හිමියන් විසින් ප්‍රකාශකොට තිබෙනවා. ලෙනට දකුණු දෙසින් පර්වතය හාරා මතුකරගන්නා ලද ඉපැරණි පියගැටපෙළක් දක්නට ලැබෙන අතර මාගේ උත්සාහය එය මතින් පහල පිහිටි වනය වෙත ගමන් කොට යාබදව පිහිටි අනෙක් පර්වතය මතට පිවිසීමටයි.

පළමු පර්වතයෙන් දෙවන පර්වතය මතට පිවිසීම

තුන් පැත්තකින්ම වන ගහනයෙන් වටවූ මෙම ඓතිහාසික පින්බිම ආශ්‍රිත ප්‍රදේශය නිරතුරුවම වන අලින්ගේ තර්ජනයට ලක්වන භූමියක්. බුද්ධංගල පුදබිම පිහිටි ගම්මානය ආශ්‍රිතව නිතරම වනඅලි ගැවසෙන බැවින් සවස 6.00න් පසු මෙම ග්‍රාමයේ වැසියන් සිය නිවෙස් වලින් පිටතට නොයා සිටීමට ප්‍රවේශම් වනවා.

අද මෙවැනි තත්වයක් දක්නට ලැබුනත් අතීත රජ දවසනම් මෙම පදවිය ආශ්‍රිත ප්‍රදේශය සශ්‍රීකත්වයේ තෝතැන්නක් මෙන්ම උප රාජධානියක් වශයෙනුත් පැවතුනු ප්‍රදේශයක්. ඊට හොඳම සාක්ෂි සාධක ලෙස පදවිය වැවත් මෙම ඓතිහාසික බුද්ධංගල පුදබිමත් අපට නිදසුන් සපයනවා. බෞද්ධාමික පරිසරයක් යටතේ පෝෂණය වුනු මෙම ප්‍රදේශයේ දක්නට ඇති ඉමහත් වෙහෙර විහාර, නටඹුන් සහ ස්මාරක කාලයාගේ අවෑමෙන් සහ විදේශීය ආක්‍රමණ නිසා සිදුවූ රාජධානි මාරුවීම් ආදිය නිසා වනයට යට උවත් ඒවා නැවතත් මතුකර ගත්විට අදටත් අතීත ශ්‍රේෂ්ඨ උරුමයක මහිමය ලොවටම කියාපාන අරුමය අමරණීයයි.

පුරා තිස් වසරක ත්‍රස්තවාදී යුධ ගැටුම් හමුවේ ඉමහත් බලපෑමකට ලක්වූ මෙම ප්‍රදේශයේ ජනතාව අදටත් ඒ පිළිබඳව සිහිකරන්නේ දැඩි කණගාටුවෙන්. ගොවි ජනපද ව්‍යාපාර හරහා වනගතව තිබු මෙම ප්‍රදේශ ගම්මානකරණය සහ නාගරීකරණයට ලක් කිරීමේදී යුධමය තත්වය පැවති වසර 30ක කාලය මෙම ප්‍රදේශවල දියුණුව වැලකීමට කටයුතු කලබව අපට සිතාගන්නට පුළුවන්. එම නිසාම මෙම ප්‍රදේශයන්හි පවතින ඓතිහාසික සිද්ධස්ථාන වල කරන ලද පුරාවිද්‍යා ගවේෂණ මෙන්ම නූතන ඉදිකිරීම් කටයුතුද ඇනහිටි බව අප දනිමු.

මෙම කාලය තුල ඉතිහාසයේ කවරදාකවත් සිදු නොවන අයුරින් පුරාවිද්‍යා මංකොල්ලකෑම් රාශියක් ලංකාව පුරාම සිදුවූ බවත් ඔබට මතක ඇති. විවිධ දේශපාලකයින්ගේ සහ බලවත් පුද්ගලයින්ගේ අනුදැනුම මත සිදුවූ මෙම සාහසික ක්‍රියාවන්ගේ බලපෑම අදටත් අපට ඇතිකරන්නේ ජුගුප්සා ජනක හැගීමක් .

බුද්ධංගල පර්වතය මුදුනේ ලෙන් පිහිටි පර්වතයට දකුණු දෙසින් වැටීඇති පාශානයේම කෙටූ ගල්පඩි සමූහය මතින් පහලට ගොස් වනයට ඇතුළුවී වම් පසට ගමන් කිරීමෙන් මෙහි පිහිටි අනෙක් පර්වතයට පිවිසිය හැකියි. මෑතකදී කිසිවෙකු හෝ මෙහි ගමන් කර නොතිබූ බැවින් කටුවැල්ගාල් සහ අතුඉති රාශියක් කඩා ඉවත් කරමින් තමයි මා මෙහි ගමන් කරේ.

මෙම කුඩා වනගත පෙදෙසේද නටඹුන් සහ ස්මාරක කිහිපයක්ම දැකගන්නට ලැබෙනවා. ඒවාද නිරීක්ෂණය කරමින් පර්වතය පාමුලට පැමිණි මාහට බඹරුන්ගේ නාදයක් කන වැටීමට ලක්වූ අතර බඹරුන් කිහිපදෙනෙකු මෙම ස්ථානයේ පියාසර කරනු දක්නට ලැබුනා. එමනිසා හැකිතරම් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් පර්වතය තරණය කිරීමට මා උත්සාහ කලද මා සමග පැමිණි මාගේ පුත්‍රයාට නම් බඹර දෂ්ඨනයකට ලක්නොවී සිටීමට නොහැකි වුනා. බඹර දෂ්ඨනය නිසා මද වෙලාවකට පර්වත තරණය ඇන හිටියත් මා දන්නා සුළු අත්කම් ක්‍රියාකාරකමකින් පුත්‍රයාට ඇතිවී තිබු වේදනාව සමනය කිරීමට මාහට හැකිවූවා.

ඉන්පසු නැවතත් පර්වතය තරණය ආරම්භ කල අපහට පළමුවෙන්ම දක්නට ලැබුනේ කුඩා පොකුණක්. ඉන්පසු ගල් උගුලක් ලෙසින් නිමවා තිබූ ගල් පර්වතයක් දැකගැනීමට ලැබුණු අතර පර්වතය මුදුනට ගමන් කිරීමේදී පර්වතයේම නිර්මාණය කරතිබූ ගල් ඇඳවල් ද්විත්වයක් දක්නට ලැබුනා. මෙය ඉතා සුමට ලෙස නිර්මාණය කරතිබූ අතර එය නිරීක්ෂණය වන්නේ ඉතා විමසිල්ලෙන් බැලුවහොත් පමණක් බව මාහට වැටහීගියා. මන්දයත් කාලයාගේ අවෑමෙන් පර්වතය ඛාදනයට ලක්වී තිබීම නිසා මෙම නිර්මාණයද යම් තරමකට වියැකී ගොස් තිබෙන නිසා.

මෙවැනි ගල් ඇඳවල් රාශියක් එරුපොතාන කිඹුලාගල පර්වතයේදී ගල්ලෙන් ආශ්‍රිතව දක්නට ලැබුණු බව මාගේ චාරිකා සටහන් නරඹන ඔබට මතක ඇති. අනිවාර්‍යයෙන්ම මෙම ස්ථානයේ අතීතයේදී යම්කිසි ගොඩනැගිල්ලක් හෝ කුඩා පර්වතයක් පවතින්නට ඇතිබව ඒ අනුව මාහට හැඟීගියා. එවැනි පර්වතයක් තිබුනේනම් බොහෝවිට එය පිහිටි ස්ථානය අනුව පහලට පෙරලී ගියා වන්නට පුළුවන්.

පර්වතයේ තැන්තැන් වල කණු සිටුවීමට සකස් කරන ලද කොටු හැඩති කුඩා වලවල් කිහිපයක්ද දක්නට ලැබෙනවා… පර්වතය මත ඉතා ආකර්ශනීය ආකාරයට පිහිටා ඇති ගල් උගුල ස්වභාවික නිර්මාණයක් බවයි මාගේ හැගීම. එසේත් නැතිනම් අතීත රජ දවස එය කපාකොටා සකස් කරන ලද්දක්ද විය හැකියි. මෙවැනි ආකාරයේ ගල් උගුල් රාශියක් ලංකාවේ බොහෝ පුරාවිද්‍යා ස්ථාන සහ පර්වත ආශ්‍රිතව දැකගන්නට පුළුවන්. සතුරන් පැමිණෙන මාර්ගයට ඉහල සිට පහලට උපකරණයක් හෝ මිනිස් ශ්‍රමයේ ආධාරයෙන් මෙම ගල් පෙරලවා ඔවුන්ගේ ගමන වැළකීමයි මෙවැනි ගල් උගුල් නිර්මාණය කිරීමේ අරමුණවී ඇත්තේ. එවැනි එක් ගලක් පෙරලුනු පසු තවත් එවැනි ගල් පෙරලේවි යැයි බියෙන් සතුරන්ගේ පැමිණීම බොහෝවිට අඩාලවනවා.

මෙම ක්‍රමය ඉපැරණි රජදවස සතුරන් මැඩලීමේ සාර්ථක උපක්‍රමයක් ලෙස භාවිතා කොට තිබෙනවා. ගල්ගමුව ප්‍රදේශයේ පිහිටා ඇති සිරිසඝබෝ රජුන් හිස දන්දුන් නිවැරදි ස්ථානය යැයි හැඳින්වෙන හත්ථිකුච්චි විහාරය ඔබ නැරඹීමට ගොස් තිබෙනවානම් මෙවැනි ආකර්ශනීය ගල් උගුලක් පිහිටා ඇති ආකාරය ඔබේ මතකයට නැගෙනවා ඇති.

හාත්පස දිස්වන මනරම් වනගහනය මෙන්ම ඉන් එපිටට කුඩාවැව් සහ ගොවිබිම් රාශියක්ද බුද්ධංගල පර්වතය මුදුනේදී ඉතා මනස්කාන්ත අයුරින් දර්ශනය වන ආකාරය හරිම අපූරුයි. පළමු පර්වතය මත පිහිටි ලෙන් විහාරය සහිත පර්වතය මෙහිදී ඉතා චමත්කාර බවකින් දක්නට ලැබෙනවා. මෙම මහා වන්නිකරයට පතිතවන දැඩි හිරුරැස් ධාරාවෙන් ගතට ඇතිවන විඩාව පර්වතය මුදුනේදී නිවා දමන්නේ යාබදව පිහිටි වැව් දිය පිස හමාඑන සිසිල් සුලන් පොදින්.

පර්වතය මත ඒමේ අත ඇවිද ගිය මා අතීත රහතුන් වැඩසිටි පින්බිමක මාහට දකින්නට නොලැබුණු තවත් උරුමයන් තිබේදැයි සැකහැර දැනගනු පිණිස මාගේ පුත්‍රයාගේ සහයෝගයද ලබාගත්තා. මේ අතර මතුවූ බඹරුන් කිහිපදෙනෙකුගේ නාදය නිසා නැවතත් අවධානමකට ලක්නොවී සිටිනු පිණිස නිහඬව පර්වතයේ පහළට ගමන් කරමින් පදවිය බුද්ධංගල පුදබිමේ අසිරිය විඳගනිමින් විහාරයට සමුදී නැවතත් මා මාගේ රජරට සංචාරයේ මීළඟ කඩඉම වෙත ළඟාවීම පිණිස පිටත්වුනා.

සම්බන්ධ වෙනත් පිටු

පදවිය බුද්ධංගල රජමහා විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

පදවිය බුද්ධංගල නටබුන් වෙත ගමන් දිශාවන්

අනුරාධපුර සිට පදවිය බුද්ධංගල නටබුන් දක්වා මාර්ගය
හරහා : මැදවච්චිය – කැබිතිගොල්ලෑව
දුර : 77 km
ගමන් කාලය: පැය 1.5 යි
ධාවන උපදෙස් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply