Mawela Walagamba Len Viharaya [Si] – මාවෙල වලගම්බා ලෙන් විහාරය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 1.00 out of 5)
Loading...

Mawela Walagamba Len Viharayaඔබ කොළඹ – මහනුවර මාර්ගයේ කඩුගන්නාව කන්ද පසුකරමින් කොපමණවත් ගමන් කරන්නට ඇත. එහෙත් පහළ කඩුගන්නාව අම්බලම අසලින් මාර්ගයෙන් පහළට බැස වන තුරු අතර සැඟවුණු පුරාණ ලෙන් විහාරය දැක බලා සිත සනහා ගන්නට ඇත්තේ කලාතුරකින් කෙනකු විය හැකි ය. මහා මාර්ගය අසල සිට දකුණට ඇති බෑවුමේ පහළට මීටර 200 ක් පමණ ගමන් කිරීමෙන් විහාරය වෙතට ළඟා වීමට පුළුවන.

පහළ කඩුගන්නාව මාවෙල ගම්මානයේ පිහිටා ඇති මෙම විහාරය හතර කෝරලේ ගල්බඩ කෝරලයේ ගන්නෑ (ගංනවය) පත්තුවට අයත් ය. මෙගම කෑගලු සහ මහනුවර දිස්ත්‍රික් මායිමේ පිහිටා ඇත. මේ නිසා විහාරය හැඳින්වෙන්නේ ද ගමේ නමින් මාවෙල වලගම්බා ලෙන් විහාරය වශයෙනි.ඉංගී‍්‍රසින් විසින් 1800 මුල් භාගයේ දී කඩුගන්නාව ගල විදිමින් කොළඹ මහනුවර මාර්ගය ඉදි කිරීමට පෙර මාවෙල විහාරයට යන මඟ වැටී තිබුණේ හිඟුල – හීනටිපොනේ මාර්ගයේ පැමිණ කඳු බෑවුම තරණය කිරීමෙනි. එහෙත් පසුකාලීනව එම මාවත භාවිතය අත් හැරි පසු එය වන වැදී ගොසිනි.

මෑතක දී පහළ කඩුගන්නාවේ මහා මාර්ගයේ සිට විහාරය වෙත ඇති මංපෙත කොන්ක්‍රීට් දමා තනා ඇත. මේ නිසා බැතිමතුන්ට ඉතා පහසුවෙන් විහාරයට ළඟා විය හැකි ය.

ඈතින් සබරගමු කඳු සහ කෙත්වතු පිස එන සුළඟ අප ගත වදී. එය දාහය නිවමින් සිරුර සිහිල් කරවයි. සමනලුන් කිහිප දෙනෙක් විත් අරලිය ගසක වසා රොන් ගන්නට තතනති.

විහාරය වෙත පිවිසෙන විට අවට වටපිටාව අලංකාර කෝණයන්ගෙන් අපට දර්ශනය වෙයි.

පහළ නිම්නයේ දිස් වන්නේ මාවෙල ප්‍රදේශයේ කෙත් ය. අවට ගෙවතු සහ ඊට ඉහළින් නැගී සිටිනා සතර කෝරලේ කඳු ප්‍රාන්ත හරිත වර්ණයෙන් දිස් වෙයි.

Mawela Walagamba Len Viharayaඒ අතරින් කැපී පෙනෙන්නේ බතලේගල කන්දයි. අතීතයේ මාවෙල ලෙන්වල වැඩ විසූ භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලා මෙම සුන්දර දර්ශනයෙන් සිත් පහන් කර ගන්නට ඇත.

එය ඔවුන්ගේ සිත ඒකාත්මික කර ගැනීම සඳහා අරමුණු කර ගන්නට ඇත.

ගල් පව්වකින් පහළට ඇද හැලෙන දිය ඇල්ලක් අපට මුලින්ම හමු විය. එහි හීන් දිය කෙඳි අවට විසිරෙමින් ජල වාෂ්ප බවට පත් වෙයි. මේ අවට ගල් පර්වතවල සිසිලස පි‍්‍රය කරන පර්ණාංග වැවී ඇත. අවට ගස්වල ඒ මේ අත දුව පනින රිළවුන්ට මේ පින්බිම කදිම අභය භූමියක් වී තිබේ.

දියඇල්ලට ඔබ්බෙන් විහාරය භූමියයි. ලෙන් විහාරය පිහිටා ඇති වටපිටාව ගල් පර්වතවලින් බහුල ය. මෙම විහාරය කරවා ඇත්තේ කඳු බෑවුම ඔස්සේ ඇදී යන දික් පර්වත තලාවක් ඇසුරු කරගෙන ය.

එහි කටාරම් කෙටන ලද ලෙන් තුනකි. පළමු ලෙනෙහි දාගැබ ද දෙවැනි ලෙනෙහි විහාර මන්දිරය ද තෙවැනි ලෙනෙහි සංඝාවාසය ද පිහිටා තිබේ. මෙම පර්වතයට ඉහළින් පැතිර ඇත්තේ වන වදුලු සහිත වටපිටාවකි. හාවන් මීමින්නන් කලවැද්දන් වැනි සතුන්ට එය කදිම රක්ෂා ස්ථානයක් බවට පත්ව ඇත.

පිරිනිවන් මංචකය දැක්වෙන සැතපෙන ප්‍රතිමාවේ අතවරයට ලක්ව ඇත්තේ හිස තබාගෙන සිටින කොට්ටයයි. 1998-04-04 දින විහාරයේ ස්වාමින් වහන්සේලා බැඳ දැමූ හොරු හය දෙනකු පිළිමය වනසා නිදන් සොයා ඇත.

එය නැවත ප්‍රතිසංස්කරණය කරන ලද අතර 2001-11-08 දින යළිත් කඩා දමන ලදී. ඊට පසු නිදන් හොරු මෙම පිළිමය වනසා දමා ඇත්තේ 2002-11- 24 දා ය. දැන් මෙය නැවත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රතිසංස්කරණයට ලක්ව තිබේ. මාවෙල පමණක් නොව හතර කෝරලේ පිහිටි දනකිරිගල – දෙවනගල – අලවතුර ගනේගොඩ වැනි පුරාණ විහාර රැසක් නිදන් හොරුන්ගේ විනාශයට ලක්ව ඇති බව අපට නිරීක්ෂණය කිරීමට ලැබුණි.

Mawela Walagamba Len Viharayaඅපි විහාර බිමට පිවිස අවට දර්ශනයෙන් සිත් පහන් කර ගත්තෙමු. වසර සිය ගණනක් තිස්සේ බැතිමතුන් මෙම පුණ්‍ය භූමිය වන්දනා කරගෙන පින් පුරවා ගන්නට ඇත. ජනප්‍රවාදයේ සඳහන් අයුරින් බොහෝ ලෙන් විහාර මෙන් ම මෙය ද කරවා ඇත්තේ වලගම්බා රජු විසිනි.කෙසේ වුවත් මෙහි ආරම්භය අනුරාධපුර යුගයේ මුල් භාගයට ඇතුළත් කළ හැකි ලක්ෂණ දෙවැනි ලෙන් විහාරය ඉදිරිපිට ඇති කොරවක්ගල සහ පුන්කලස සහිත මුරගල් යුවළෙන් පෙනේ. එහි කොරවක්ගලක පූර්ව අනුරාධපුර යුගයට අයත් බ්‍රාහ්මී අක්ෂරවලින් බොතිමශ (බොතිමගේ) යන්න කොටා ඇත. එම ගල් නිර්මාණය කරවා ඇත්තේ හෝ කර ඇත්තේ බොතිම නම් පුද්ගලයා වන්නට ඇත.

වලගම්බා ජනප්‍රවාදය මෑත අතීතයේ මෙයට ආරූඪ කරවා ඇති බව පෙනේ. එච්. සී. පී. බෙල්ගේ 1892 කෑගලු වාර්තාවේ ද එය සඳහන් නොවේ. ඔහු මෙම පුදසුන සඳහන් කරන්නේ මාවෙල ලෙන් විහාරය වශයෙනි. ඔහුට අසන්නට ලැබී ඇති අයුරින් මෙම විහාරය කරවා ඇත්තේ කෝට්ටේ 6 වැනි පරාක්‍රමබාහු රජු විසිනි.

විහාර භූමියේ මුලින්ම පිහිටි ලෙන තුළ දාගැබ දක්නට ලැබේ. මෙම ලෙන දිගින් අඩි 30 ක් ද පළලින් අඩි 20 ක් ද වේ. ලෙනෙහි උස අඩි 22 කි. ලෙනට ඇතුළුවීමට ඇති ප්‍රවේශය දෙපස කොරවක්ගල් දෙකක් සහ චාම් පුන්කලස් මුරගල් දෙකකි. පුන්කලස්වල ඇත්තේ නෙලුම් පොහොට්ටු ය. ඒවා යන්තම් මතුකර පෙන්වා ඇත. කොරවල්ගල් චාම් බොරදම් කැටයමින් යුක්ත ය. මෙවැනි චාම් කැටයම් දැකගත හැක්කේ අනුරාධපුර යුගයේ මුල් භාගයේ දී ය.

මෙහි ඇතුළු ගැබෙහි පිහිටි දාගැබ ගඩොල් සහ මැටියෙන් තනා හුණු පිරියම් කර තිබේ. දාගැබේ විෂ්කම්භය අඩි 8 අඟල් 6 ක් වන අතර උස අඩි 19 කි. සම චතුරස්‍රාකාර වේදිකාවක් මත දාගැබ ඉදිකර තිබේ. එම වේදිකාව දිගින් හා පළලින් අඩි 11 අඟල් 6 කි. දාගැබ නිසා ලෙන සම්පූර්ණයෙන් පිරී ගොසිනි. දාගැබ වටා සිව්පසින් මකර තොරණ යට වැඩ සිටින හිඳි බුද්ධ ප්‍රතිමා හතරකි. එම ප්‍රතිමා අඩි 4 ක් උසින් යුක්ත ය. පසුකාලීන තීන්ත ආලේපය නිසා මහනුවර යුගයේ ඉදිකරන ලද මේවායේ පුරාණ ස්වරූපයට හානි පැමිණ තිබේ.

මෙහි ලෙන් වියනෙහි බදාම තට්ටුවක් දක්නට ලැබුණ ද පැරැණි සිතුවම් දක්නට නොලැබේ. වටේ බිත්තිවල ද සිතුවම් කිසිවක් නොමැත.

පසුකාලීන අලුත්වැඩියාවල දී මෙම සිතුවම් මැකී යන්නට ඇති බව සිතිය හැකි ය. මෙම දාගැබ මෙන්ම ලෙන් විහාරයේ සැතපෙන බුද්ධ ප්‍රතිමාව ද කිහිප වරක්ම නිදන් හොරු හාරා තිබේ. මෙවැනි බොදු උරුමයන් වනසා නිදන් සෙවීම මුදලට ලොබ බැඳි දුර්ජනයන්ගේ ක්‍රියාවකි.

මෙලෙස ලෙන් තුළ කුඩා දාගැබ් ඉදිකිරීම මහනුවර යුගයේ දී දැකගත හැකි ය. හිඳගල වාරණ පිළිකුත්තුව එවන් දාගැබ් දැකගත හැකි විහාර කිහිපයකි. මෙම ලෙනට අඩි 75 ක් පමණ දුරින් දෙවැනි ලෙන පිහිටා තිබේ. ප්‍රතිමා මන්දිරය එහි පිහිටා ඇත. එහි සැතපෙන බුද්ධ ප්‍රතිමාව මහනුවර යුගයේ ලක්ෂණ සහිත ය.

මෙහි පිහිටි ප්‍රතිමා සහ සිත්තම්වල පුරාණ ස්වරූපය ආරක්ෂා වී පවතී. බුදුරුවේ සිවුර මහනුවර යුගයේ ජනපි‍්‍රය ලක්ෂණයක් වූ දියරැලි ආකාරයෙන් යුක්ත ය.

එහි සිවුර රන්වන් පැහැති ය. මෙහි හිස හා කොට්ටය අසල නිදන් හොරු විනාශ කළ ලක්ෂණ පවතී. බෙල් අවුරුදු 116 කට පෙර විස්තර කරන සිතුවම් අද වන විට බොහෝ දුරට විනාශ වී ගොසිනි. වියන් සිත්තම් දැකගත හැක්කේ යාන්තමිනි. රහත් රූප ද ඉතිරිව පවතින්නේ කිහිපයක් පමණි. සොබාදහම විසින් ඒවායේ වර්ණ මකා දමා ඇත.මෙම විහාරය ඉදිරිපිට කළුගල් මළුවක් මත පැරැණි බෝධි වෘක්ෂයකි. එහි සිට තවත් අඩි 150 ක් පමණ දුරින් සංඝාවාසය සහිත ලෙනයි. ඒ අවට සරුවට වැඩුණු පුවක් ගසින් පිරි වදුලක් අපට දැකගත හැකි විය.

ලෙහෙනුන් කිහිප දෙනෙක් පුවක් ගස් අතර සරමින් සිටියහ. මෙවැනි සුන්දර දැකුම් සහිත පුදබිම්වල දී අප සිත් පහන් වේ. එය විඩාබර සිතට කදිම සැහැල්ලුවක් සැනසුමක් ගෙන දෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

බුදුන් දවස රහත් හිමිවරු සොබා සුන්දරත්වයෙන් සිත සනසා ගත් ආකාරයත් එය භාවනාවට නිමිත්තක් කර ගත් ආකාරයත් ථෙර ගාථාවල අපූරුවට සඳහන් වේ. එලෙස ම පුරාණයේ මාවෙල ලෙන් විහාරයේ වැඩ සිටි හිමිවරුන් ද මේ සුන්දර වටපිටාවෙන් සිත පහන් කර ගෙන බවුන් වඩන්නට ඇත.

මෙවැනි සිතිවිලි සහිතව සිටි අපි බතලේගල කන්ද අතරින් රත් පැහැ හිරු බැස යන සන්ධ්‍යාවේ මාවෙල ලෙන් විහාරයෙන් සමු ගතිමු

විස්තර සහ ඡායාරූප : කුසුම්සිරි විජයවර්ධන
සිළුමිණ

Also See

Map of Mawela Walagamba Len Viharaya


Please click on the button below to load the Dynamic Google Map
.

This location is approximate. Please see directions.

The map above also shows other places of interest within a approximately 20 km radius of the current site. Click on any of the markers and the info box to take you to information of these sites.

Zoom out the map to see more surrounding locations using the mouse scroll wheel or map controls.


Travel Directions to Mawela Walagamba Len Viharaya

Route from Colombo to Mawela Walagamba Len Viharaya

Though : Kandy Road (A1)
distance :100 km
Travel time : 2 hours.
Driving directions : see on google map (approximate location)

© www.amazinglanka.com

Posted in Heritage Tagged with: ,