කළුතර පුරාණයේ හැඳින්වූයේ පස්යොදුන් රට නමිනි. වරකාගොඩ යනු විජය ඈපා (1399-1415) විසින් ගොඩනඟන ලද සමෘද්ධිමත් උප රාජධානියක් බව විශ්වාස කෙරේ. ගනේඋඩ පුරාණ විහාරය නමින් හැඳින්වෙන විහාරස්ථානයේ, මාළිගා සංකීර්ණයක නටබුන් සහ වරකගොඩ රාජධානියේ දන්ත ධාතු මන්දිරය අද සංරක්ෂණය කර ඇත
මහාවංසයට අනුව මානාභරණ කුමාරයා පොලොන්නරුව රාජධානියේ ජයබාහු (1110-1111) රජු සමඟ සටන් කර ඇති අතර ඔහුගේ පරාජයෙන් පසු මානාභරණ කුමරු පස්යොදුන් කෝරලයේ ඔහු විසින් ඉදිකරන ලද බලකොටුවක වෙත පසු බැස ඇත. මෙම චෛත්‍ය නටබුන් ඔහු විසින් ඉදිකරන ලද මෙම බලකොටුවේ කොටසක් යැයි සමහරු විශ්වාස කරන අතර සමහරු විශ්වාස කරන්නේ ඔහු මෙම විහාරස්ථානයට කිලෝමීටර් කිහිපයක් ඈතින් පිහිටි වරකාගොඩ පුරාණ ගල්ලෙන් රජමහා විහාරයේ ගුහාවල සැඟවී සිටින බවයි.
අද පවා, මෙම නටබුන් අවට ප්‍රදේශවල නම් රාජධානියේ ඉඟියක් සපයයි. කුමාරවරුන් වාසය කළ කුමාරගේවත්ත, දිසපති (රජයේ නියෝජිත) ජීවත් වූ දිසාවත්ත, රාජකීය උද්‍යාන තිබූ උයන්වත්ත යන ගම්මාන මෙහි තවමත පවතී.
බෞද්ධ විහාර සංකීර්ණය මාළිගාවෙන් ඔබ්බට වන්නට පිහිටන්නට ඇත. මාළිගාවේ නටබුන් ඇති ස්ථානයේ සිට කිලෝමීටර 1 ක් පමණ දුරින්පු පුරාණ ස්ථූපයක නටබුන් සොයාගෙන ඇත. මෙම ස්ථානය පස් කන්දක් ලෙස දිස්වූ අතර පස් කනදේ වැඩුණු රබර් ගස් සහිත රබර් වගාවක කොටසක් විය. අවට ප්‍රදේශයේ මෙම පස් කන්ද වෙහෙරගොඩැල්ල ලෙස හැඳින්වූ අතර වැඩිහිටියන්ට අනුව එය දශක කිහිපයකට පෙර කැණීම් කර ඇති අතර හමුවූ ධාතූන් රැගෙන ගොස් ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ස්ථූපය ප්‍ප්‍රතිෂ්ඨාපනය කර ඇත. මුල් කාලයේ සිටම ශ්‍රී ලංකාවේ ස්ථූප සාදා ඇත්තේ පේසා වළලු 3ක් සමඟිනි. කලාතුරකින් සෝමාවතී ස්තූපය සහ සඳගිරිය ස්තූපය වැනි පේසා 2 ක් සහිත ස්තූප හමුවේ. කතරගම කිරි වෙහෙර වැනි තනි පේසාවක් සහිත ස්තූප දුර්ලභ ය. වෙහෙරගොඩැල්ල කැණීමේදී මෙම කුඩා ස්ථූපය තනි පේසාවක් භාවිතයෙන් ඉදිකර ඇති බව සොයා ගන්නා ලදී.
කෙසේ වෙතත්, කැණීම්වලින් කිසිදු ධාතූන් හෝ නිදන් වස්තුන් සොයා ගැනීමට නොහැකි වූ නමුත් දශක 5 කට පමණ පෙර සිදු කරන ලද අනවසර කැණීමකින් මුද්දක් සහ කාන්තා මාලයක කොටසක් සොයාගෙන ඇත. දාගැබ තැනීම සඳහා භාවිතා කරන ගඩොල් හා අනෙකුත් අවශේෂ දෙස පරීක්ෂා කල විට මෙම විහාරස්ථානය කෝට්ටේ රාජධානියේ යුගයට අයත් බව නිගමනය කල හැක. මෙහි හමුවූ කාන්තා ආභරණ සමග වූ පෙන්ඩනය රන් ආලේපිත ය. කුරුලු ජෝඩුවක් සලකුණු කොට තිබේ. තත්කාලීනව චිනයේ භාවිත වූ ආභරණ හා මෙය සමාන වේ.
මෙම ස්ථූපය ඉදිකර ඇත්තේ හතරැස් වේදිකාවක් මත ය. වේදිකාවේ දාරය ප්‍රදේශයේ ස්වාභාවිකව දක්නට ලැබෙන ඉනිගල් නමින් හැඳින්වෙන ගල් පතුරු විශේෂයකින්ම වටකොට ශක්තිමත් කොට ඇත. මෙම ප්‍රදේශයේ රබර් වතුවල තවමත් මෙම ඉනිගල් තැන්පත් කර තිබෙනු දක්නට හැක. එම නිසා 2013 වර්ෂයේ මෙම ස්තූපය තහවුරු කරන විට එම ඉනිගල්ම භාවිතා කොට වේදිකාව ප්‍රතිනිර්මාණය කොට ඇත.
මෙම ස්ථානයට පිවිසීම සඳහා කළුතර සිට (කි.මී. 24 ක් පමණ) උඩෝවිට හරහා වරකාගොඩ වෙත ගමන් කරන්න. උඩෝවිට හන්දිය පසු කර කිලෝමීටර් 1.4 ක් ගිය විට ඔබට වම් පසින් සල්ගස් මාවත හමු වේ. (සල්ගාස් මාවත ගූගල් සිතියම්වල සලකුණු කොට නොමැත). මෙම මාර්ගයට මීටර් 300 ක් පහළින් ගමන්කර විට මෙම ස්තුපය හමුවේ.
ආශ්‍රිත
- මතුගම සෙනෙවිරුවන්, 20219. මහ කළක මහ පුවත : කළුතර දිස්ත්‍රික්කය පිලිබඳ පුරාවිද්‍යාත්මක විමර්ශනයක්. 1st ed. රාජගිරිය: කේ. එස්. යූ . ග්‍රැෆික් (ප්‍රයිවෙට්) ලිමිටඩ්.
- මතුගම සෙනෙවිරුවන්, 2013. වරකාගොඩ ඉතිහාසය හෙළි කරන වෙහෙරගොඩ ස්ථූපය. [online] divaina.com. Available at: <https://www.divaina.com/2013/09/04/badada03.html> [Accessed 15 October 2019].
/
සම්බන්ධ වෙනත් පිටු
වෙහෙරගොඩ ස්තූප පුරාවිද්‍යා භූමියේ සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
වෙහෙරගොඩ ස්තූප පුරාවිද්‍යා භූමිය වෙත ගමන් මඟ
කොළඹ සිට වෙහෙරගොඩ ස්ථූප පුරාවිද්‍යා ස්ථානය දක්වා මාර්ගය | කළුතර සිට වෙහෙරගොඩ ස්තූප පුරාවිද්‍යා ස්ථානය දක්වා මාර්ගය |
හරහා : දක්ෂිණ අධිවේගී මාර්ගය – ජෙනලිගම – හොරණ – අඟුරුවාතොට දුර : 65 km ගමන් කාලය: පැය 1.45 ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න | හරහා : නෙබොඩ දුර : 23 km ගමන් කාලය: විනාඩි 35 යි ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න |