පදවිය මොරගොඩ පුරාවිද්‍යා නටබුන්

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 5.00 out of 5)
Loading...

පදවිය කියන්නේ අවුරුදු එක්දහස් පන්සීයකට කලිනුත් බොහොම ශශ්‍රීක ප්‍රදේශයක්. මෙම ප්‍රදේශයේ දියුණුව තදින්ම පදවිය වැව සමග සම්බන්දයි. මේ වැව ලංකාවේ තිබෙන විශාලතම වැව්  ගණයට වැටෙනවා. පදවිය වැව පෙර කාලයේදී  “පදිවාපි” නමින් හඳුන්වලා තිබෙනවා. ඒ කාලේ විදිහට මේ වැව පිහිටලා තිබුනේ උත්තරපස්ස (උතුරු ප්‍රදේශය) පදිරට  ප්‍රදේශයේ. මේ ආසන්නයේ තිබෙන මොරගොඩ නටබුන් සමග හමුවූ 10වන ශතවර්ෂයේ සෙල්ලිපියක මෙම වැව අවට ප්‍රදේශය පදින්නරුකුලිය ලෙස හඳුන්වන ලද බව පේනවා.

පුජාවලියට අනුව නම් පදවිය වැව හදලා තියෙන්නේ සද්ධාතිස්ස රජතුමා ක්‍රිස්තු පූර්ව  137-119 අතර කාලයදී. හෙන්රි පාකර් පවසන අන්දමට මෙම වැව හදලා තියෙන්නේ තුන්වන ශතවර්ෂය අග බාගයේදී. ඒ කියන්නේ ක්‍රිව 276-303 අතර රජකළ මහසෙන් රජතුමා. එක හේතුවක් තමයි ක්‍රිස්තු පුර්ව  කාලවලදී ලංකාවේ වාරි තාක්ෂනය මේ සා විශාල වැවක් සාදන්න තරම් දියුණු තත්වයක තිබුනේ නෑ කියන තර්කය. බ්‍රෝහියර්ද මේ උපකල්පනයට නැඹුරු වෙනවා. නමුත් ආචාර්ය පරණවිතාන මෙම වැව 6 වන ශතවර්ෂයේ චූලවංසයේ සඳහන් දෙවන මොග්ගල්ලාන රජතුමා (535-555) විසින් කරවන ලද දනවාපි  වැව බව විශ්වාස කරනවා. අවාසනාවට මේ වැවේ ආරම්භය පිලිබඳ නිශ්චිත සෙල්ලිපි කිසිවක් මේ ප්‍රදේශයෙන්  හමුවී නැහැ. වැව හා නටබුන් අසල ඇති පුවවරු සඳහන් කරන්නේ මේවා මහසෙන් රජතුමගේ කාලයේ සාදන බවයි.

දෙවන පරාක්‍රමබාහු රජ කාලයේ (1236 -1270) පදිරට දෙමළ ආක්‍රමනියෙකු විසින් පාලනය කර තිබෙනවා. මෙම කාලයේදී මොරගොඩ බෞද්ධ ගොඩනැගිලි අතර කෝවිලක් ගොඩනගා තිබෙනවා. මේ ශිව කෝවිලේ හා ශිව ලිංග නටබුන් අදත් දැක බලාගත හැකියි. දෙවන පරාක්‍රමබාහුගෙන් පසු රජ කල දෙවන විජයබාහු (1270-1272) පදිරට පාලනය නැවත ඔහු වෙත ලබාගෙන තිබෙනවා.

මොරගොඩ නටබුන් අතර 10 වන ශතවර්ෂයේදී ස්ථාපනය කරනලද කාශ්‍යප රජ විසින් පිහිටුවන ලද ටැම්  ලිපියකට අනුව මොරගොඩ ප්‍රදේශය පදිනාරු නමින් හැඳින්වූ බව පරණවිතාන මහතා පවසා සිටිනවා. මෙය පාලියෙන් පාචීන නගර එනම් නැගෙනහිර නගරය ලෙස පරිවර්තනය වෙනවා.

මේ නටබුන් අතර තැනින් තැන මතුවී තිබෙන බැමි කොටස් මෙය ආදී කාලයේදී පවුරකින් වට කරන ලද නගරයක් බව පෙන්නුම් කරනවා. සමහරවිට මෙය මුල් අනුරාධපුරය, විජිතපුරය හෝ මුල් පොලොන්නරුව මෙන් කඳවුරු නගරයක් වීමට ඉඩ තිබෙනවා. පවුරට පිටින් හමුවූ මුරගලක සංස්කෘත භාෂාවෙන් ලියූ ශිලා ලේඛණයේ දණ්ඩනායක එනම් ලෝකනාථ නම් හමුදාපති කෙනෙකු පිලිබඳව සඳහන් වනවා. එමනිසා අතීත මොරගොඩ බොහෝවිට යුදෝත්මක වටිනාකමකින් යුතු කඳවුරු නගරයක් වියහැකියි. මොරගොඩ ගොඩනැගිළි ගින්නෙන් විනාශ වූ බවක් පෙන්වනබව  බ්‍රොහියර් ඔහුගේ වාර්තාවන්හි පවසනවා.  මෙම නගරයේ විනාශය අනුරාධපුර රාජධානියේ අවසානය සනිටුවන් කල චෝල රාජ්‍යයෙන් පැමිණි රාජ රාජගේ අතින් සිදු වන්නට විය හැකි බව ඔහු පවසනවා.

මෙම ස්ථානයේ  බොහෝ නටබුන් අද සංරක්ෂණය කරලා තියෙන්නේ. තරමක විශාල ස්තුපය, සංරක්ෂණය කල පුවරු සෙල්ලිපි  හා ශිව කෝවිල මින් විශේෂ වනවා. හානිවූ බුදු පිළිම, මුරගල් හා නොයෙක් ගලින් නෙළන ලද ගොඩනැගිලි කොටස් තැතින් තැන දක්නට ලැබෙනවා. මීට අමතරව නොයෙක් ගොඩනැගිලි තිබුබව සෑමතැනම නැගී සිටින ගල්කණු සාක්ෂි දරනවා.

මෙම ප්‍රදේශයේ තැනින් තැන සාදනලද ළිං 7ක් හඳුනාගෙන තිබෙනවා. සම්පුර්ණයෙන් පසින් පිරී  තිබූ  ඒවා දැන් සංරක්ෂණය කර තිබෙනවා. මෙම ලිං  පිළිබඳව පවසන බ්‍රොහියර් මේවා පදවිය ජලාශය සැදීමට පෙර එම ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාවයන්ට සාදා තිබෙන්නට හැකි බවයි.

A map of Padaviya area drawn in 1969 based on colonial maps.
A map of Padaviya area drawn in 1969 based on colonial maps.
source : Archaeological Remains at Deiyyanne-kanda, Padaviya by
L. A. Ādithiya (1969)

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  1. Ādithiya , L.A. (1969) “Archaeological Remains at Deiyyanne-kanda, Padaviya,” The Journal of the Ceylon Branch of the Royal Asiatic Society of Great Britain & Ireland The Journal of the Ceylon Branch of the Royal Asiatic Society of Great Britain & Ireland, 13 (New Series).
  2. Storey, H. (2000) A Ceylon Sportsman’s Diary: An Account of the author’s shooting experiences from 1909 to 1920 inclusive (1920). Reprint. New Delhi: Asian Educational Services.

සම්බන්ධ වෙනත් පිටු

පදවිය මොරගොඩ පුරාවිද්‍යා නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

පදවිය මොරගොඩ පුරාවිද්‍යා නටබුන් රියදුරු දිශාවන්

අනුරාධපුර සිට පදවිය මොරගොඩ පුරාවිද්‍යා නටබුන්
හරහා :හොරොව්පතාන
මුළු දුර : කිලෝමීටර් 100
ගතවන කාලය : පැය 2
ගත කිරිය යුතු කාලය : පැය 1-2 අතර
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com