
Image courtesy of Dr. Ashan Geeganage
අම්පාර දිස්ක්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිරුක්කෝවිල් සිට පොතුවිල් මාර්ගයේ ටික දුරක් ගොස් තාන්ඩිඅඩි හන්දියට පැමිණ කුඹුරුයායක් මැදින් වනය ඇතුළට කිලෝමීටර් 12 ක් ගමන් කළ විට කංජිකුඩිච්චිආරු නටබුන් පිහිටි පුදබිමට ළඟා විය හැකිය.
කොටි ත්රස්තවාදීන්ගේ නායකයකුගේ කඳවුරක් ලෙස පැවති මේ පුදබිම වර්තමානයේ දී යුද හමුදාවේ රැකවරණය යටතේ ආරක්ෂා වේ. කැඳ බිව් බිමේ ගඟ යන අරුතින් කංජිකුඩිච්චිආරු හඳුන්වා ඇත. කංජිකුඩිච්චිආරුව කුඩා ඔයකි. අක්කරපත්තුවේ සිට පොතුවිල් දක්වා ගමන් මාර්ගයේ පැමිණෙන විට තිරුක්කෝවිල් දක්වා විහිදුණු පෙරිය කලපුව දිස්වේ. ඉන් පසුව කෝරායි, පුල්ලියාඩි, කන්නියාඩි, ඕමාරි හා කෝමාරි යන කලපු පිහිටා ඇත. එල්ලාවල මේධානන්ද හිමියන් සඳහන් කරන්නේ මේ කොටසට අයත් කෝමාරි, තිරුක්කෝවිල්, බක්මිටියා, හුලංනුගේ හා පොතුවිල් යන වසම් වැඩි හරියක් එකල ගන කැලෑවෙන් යුක්ත වූ බවය.
කංජිකුඩිච්චිආරු නටබුන් පිහිටි භූමියට පිවිසීමට වනය මැදින් ගමන් කළ යුතු බැවින් නිශ්චිත ගමන් මාර්ගයක් ඉදිවී නැත. මීටර් කනුවෙන් රූපස්කුලම් මාර්ගය ඇරඹෙන අතර එම මාර්ගයේ සැතපුම් තුනක් පමණ ගිය විට බක්මිටියාව, මීරහල අඩිපාරේ නැවතත් සැතපුම් හයක් පමණ ගිය විට කංජිකුඩිච්චිආරුවට ළඟාවිය හැකි බවත් මීරහල සිට හුලංනුගේට කරත්ත පාරකින් සම්බන්ධ විය හැකි බවත් එමෙන්ම මුළු ගමනින් වැඩි කොටසක් මහ වනයෙන් යුක්ත බවත් මේධානන්ද හිමි නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය යන ග්‍රන්ථයේ සඳහන් කර තිබේ.
මීට ආසන්නව ඇති කිරිමැටි ආරුව ඉහත්තාවේ පොතුවිල් වසමට අනුරූපව ඇති ජයරම්පල, දුටුගැමුණු රජුගේ සේනාව ජය ඝෝෂා නැගූ ස්ථානයක්ය. පළමුවැනි විජයබා හා පළමුවැනි පරාක්‍රමබාහු රජුන්ගේ සටන් මාර්ග ද වැටී තිබුණේ මේ පෙදෙස් හරහාය යැයි සඳහන්ය.
කංජිකුඩිච්චිආරුව හරස්කර වැවක් නිමවා ඇති අතර එහි වැවේ වෑ කන්දෙ වම් පසට වන්නට කඳු ගැටයක් පිහිටා ඇත. ස්තූපයක් යැයි අනුමාන කළ හැකි අඩි 26 ක් උස ගොඩැල්ලක් එහි දක්නට ලැබේ. නිධන් හොරුන් විසින් ස්තූපයේ ස්ථාන කිහිපයක්ම හාරා විනාශ කිරීම හේතුවෙන් පැරණි ගඩොල් විසිර පවතී. එමෙන්ම ගල් කණු රැසක්, කණු පාදම්, ඔපමට්ටම් කළ මල් ආසන කොටස් හා ස්තූපයට සම්බන්ධ අවශේෂ අවට භූමිය පුරාම දක්නට ලැබේ.
එසේම මෙම ස්ථානයට ආසන්නව ඇති පැරණි ගොඩැල්ලක හින්දු කෝවිලක් ඉදිකර ඇත. ස්තූපයට අයත් යැයි සැලකෙන මල් ආසන දෙකක් ඒ සඳහා යොදාගෙන තිබේ. ඉන් එක් මල් ආසනයක් කෝවිලට පිවිසුම් දොරටුව ඉදිරිපිට පඩියක් ලෙස යොදා තිබෙන අතර කණු පාදමක් ද පිහිටුවා එහි ඔවුන්ගේ ආගමික වතාවත් සඳහා භාවිත කොට ඇත. එමෙන්ම අනෙක් මල් ආසනය ද දේව රූප තැන්පත් කොට ඇති ස්ථානය ඉදිරිපිට පිහිටුවා තිබේ. එය පූජාසනයක් ලෙස භාවිත කරනවා විය හැකිය.
වෑ කන්දට දකුණු පසින් විහිදුණු විශාල වූ පර්වත තලාවකි. එහි ලෙන්, වැවට මුහුණ ලා පිහිටා ඇත. කටාරම් කොටන ලද ලෙන් 11 කි. මෙම ලෙන් සියල්ලේම කටාරම් කොටා වාසයට සුදුසු පරිදි සකස් කොට ඇත. එහි ගඩොලින් බැඳි බිත්ති තිබී ඇති අතර එම ගඩොල් භූමිය පුරා තැනින් තැන විසිර පවති. එල්ලාවල මේධානන්ද හිමි පවසන්නේ මෙහි කැණීම් කිසිවක් සිදුකොට නොමැති බැවින් ලෙන් තුළ පොළොව අභ්‍යන්තරයේ පිහිටීම කෙසේ දැයි හඳුනා ගැනීමට අපහසු බවය. උන්වහන්සේ මෙම ස්ථානයේ දෙදිනක ගවේෂණයක් සිදු කර ලෙන් ලිපි දෙකක් පිටපත් කොට ඇති අතර එය ක්‍රි.පූ. 2 වන සියවසට අයත් බ්‍රහ්මී අක්ෂරවලින් ලියන ලදැයි සඳහන් කරයි.
එම ලෙන් ලිපි හා අර්ථය
පළමු ලිපිය – පරුමක වශබ පුත වශ……(ප්‍රමුඛ වසභගේ පුත්‍රයා වූ වස….)
දෙවන ලිපිය – පරුමක පුනශ ගුත පුත මහ තිශහ ලෙණෙ
(ප්‍රමුඛ පුනශගුප්තගේ පුත්‍රයා වූ මහා තිෂගේ ලෙණ මහසඟනට පුදන ලදී)
ඉහත දැක් වූ ලෙන් ලිපි දෙකේම සඳහන් වන්නේ එම ලෙන් මහ සංඝයාට පූජා කර ඇති බවයි. මෙහි සඳහන් භාෂාව පැරණි ප්‍රාකෘත සිංහල බවත් මෙවැනි බ්‍රාහ්මී ලෙන් ලිපි රිටිගල, වෙස්සගිරිය, මිහින්තලය ආදි ස්ථාන වල ඇති බවත් ඒවායේ රටාවට සියලු අතින් සමාන වන බවත් එමෙන්ම මේ ලිපි අනුව මෙම ස්ථානය රාජ්‍ය වර්ෂ පූර්ව දෙවන සියවසේ දී භික්ෂු ආරාමයක් වශයෙන් පවතින්නට ඇතැයි යන්න ද මේධානන්ද හිමිගේ අදහසයි.
කුච්චවේලි සමුද්‍රගිරි පිච්චමල් විහාරවාසී පූජ්‍ය කැප්පෙටියාවේ අරණවිහාරී ස්වාමීන් වහන්සේ කංජිකුඩිච්චිආරුහි මෑතක දි කළ සංචාරයක දී දකින්නට ලැබුණු නටබුන් පිළිබඳව ප්‍රකාශ කරනු ලැබූයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවය. මෙතෙක් රජයේ කිසිදු අනුග්‍රහයක් හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමක් මෙම ස්ථානය කෙරෙහි යොමුකොට නැතැයි යන්න උන්වහන්සේගේ අදහසයි. යුද හමුදාවේ සෙබළු කිහිප දෙනෙක් මෙහි ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති බවත් පූජ්‍ය කැප්පෙටියාවේ අරණවිහාරී හිමි සමඟ කළ සාකච්ඡාවේ දී ප්‍රකාශ කරනු ලැබීය.
අම්පාර, පොතුවිල් මාර්ගයේ පානම ගමට සැතපුම් කීපයක් මෙපිටින් ශාස්ත්රවෙල විහාරය පිහිටා ඇති අතර මෙම පුදබිමට පිවිසීම සඳහා පොතුවිල් නගරයේ සිට පානම දක්වා දිවෙන මාර්ගයේ ශාස්ත්රවෙල පොලිස් විශේෂ කාර්යබලකා කඳවුර පසුකොට මුහුද දෙසට කි.මී. 1 ක් පමණ ගමන් කළ යුතුය. හැඩඔය, ශාස්ත්රවෙල වෙහෙරට උතුරින් හා ඊසාන දෙසින් නැගෙනහිර මුහුදට පිවිසෙන අතර මනරම් වෙරළ තීරයක් මෝයට උතුරින් දිස්වේ.
වර්තමානයේ මෙම පුදබිම ශාස්ත්රවෙල නමින් හැඳින්වූව ද එය මෑත දී යෙදුණු ව්‍යවහාරයක් සේ සැලකේ. මෙම නටබුන් සහිත භූමිය සම්බන්ධ විශාල වෙලක් ඇති අතර එය ශාස්ත්රවෙල, රාත්රවෙල යනුවෙන් හැඳින්වේ. හැඩ ඔය ඉවුරෙන් මෙම වෙල කෙළවර වේ. විහාරයේ වැඩ වාසය කළ රහතන් වහන්සේලා ඔයෙන් පැන් ගැනීමට මෙම වෙල හරහා නිතර වැඩිය හෙයින් රහතුන් යන වෙල, රහත් වෙල විය. එය ව්‍යවහාරයේ දී රාත්රවෙල ශාස්ත්රවෙල වූයේ යැයි කියැවේ.
පුදබිම පුරා මුහුදට ආසන්නව, පර්වතයේ හා පර්වතය පාමුල පුරාවිද්‍යාත්මක අවශේෂ විසිර පවතී. පන් කන්ද හෙළ නමින් මෙහි ප්‍රධාන කන්ද හැඳින්වෙන අතර මෙහි සිට මුහුදු වෙරළ අසල මූහුදට යාවන සේ මීටර් 500 ක් පමණ ගිය විට පර්වතයක් දැකිය හැකිය. හැඩ ඔයේ එක් ශාඛාවක් වූ “කුඩා කල්ලිය” මුහුදට පිවිසෙන්නේ මෙම ස්ථානයෙනි. පර්වතය පාමුල මුහුද ඉතා ගැඹුරු වන අතර මෙරට පිහිටි දර්ශනීයම ස්ථාන වලින් එකක් යැයි මෙම ස්ථානය සැලකේ.
මෙම පර්වතය මත පිහිටි තවත් ගල් කුළකි. එහි කටාරම් කොටන ලද ලෙනක් පිහිටා තිබේ. අතීතයේ දී එම ලෙනෙහි බිත්ති බැඳ තිබෙන්නට ඇතැයි යන්න එහි ඉතිරිව ඇති පැරණි ගඩොළු සාක්ෂි දරයි. කටාරමේ සෙල් ලිපියක් කොටා ඇති බවට සලකුණු පෙන්නුම් කළද මුහුදු සුළඟ හේතුවෙන් එම ලිපිය විනාශ වී ඇතැයි යන්න එල්ලාවල මේධානන්ද හිමි සඳහන් කර ඇත.
ලෙනේ සිට පර්වතයට නැගීමට කුඩා පියගැට හතරක් නෙළා ඇති අතර පටු කපොල්ලකින් රිංගා යා යුතුය. ගල් උගුල නමින් එය හැඳින්වේ. පර්වතය මුදුනේ ස්තූප ගොඩලැල්ලක් යැයි සිතිය හැකි ශේෂ වූ සාධක පවතී. අඩි 30 ක් පමණ වට ඇති අඩි 8 ක් උස ගඩොල් ගොඩැල්ලක් වන එය අතීතයේ දී “ලංකා සෑය” නමින් හඳුන්වා ඇත.
හැඩ ඔයේ තවත් එක් ශාඛාවක් වූ “සින්නඩි කෝසුව” මුහුදට පිවිසෙන ස්ථානය මෙතැන් සිට උතුරට කි.මී. කාලක් පමණ ගමන් කළ විට හමුවේ. එහි මුහුදට හා කෝසුවට යාව පිහිටි වඩා උස් නොවූ ගල් තලාවක මුදුනේ ශේෂ වූ ගොඩනැගිලි දෙකක් දැක ගත හැකිය. පර්වතයේ නෙළන ලද පිය ගැට 50 කින් යුත් පෙළක් ඔස්සේ කෝසුවට බැසීමට හැකිය. එහි එක් පියගැටයක් අඩි තුනක් දිගුය.
පහන් කන්ද හෙළ හා පන්කන්ද හෙළ නමින් හැඳින්වෙන මෙහි ප්‍රධාන පර්වතය සැතපුමක් පමණ දුරට විහිදේ. මුහුදු මට්ටමේ සිට අඩි 200 ක උසකින් එය පිහිටා ඇත. කන්දේ මුදුන හා නැගෙනහිර බෑවුම සිසාරා නටබුන් දක්නට ලැබේ. එහි කටාරම් කොටන ලද ලෙන් 10 කි. එක් ලෙනක බුදු මැඳුරක් තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකි සාධක කිහිපයකි. ලෙන ඉදිරිපසින් පියස්සක් ඉදි කර තිබෙන්නට ඇතැයි යන්න ශේෂ වූ බැම්ම හා ගල් කණු හතරේ අවශේෂ වලින් හඳුනාගත හැකිය.
ඩොලින් කළ ඔත් පිළිමයක හැඩයෙන් යුත් බුදු පිළිමයක් දක්නට ඇත. ලෙන් වහලේ ගලේ අඳින ලද පැරණි සිතුවම්හි රේඛා සටහන් අතර ඉතා අසීරුවෙන් හඳුනා ගත හැකි දේවතා රූප තිබුණු බවට මේධානන්ද හිමි තම වාර්තාවේ දක්වා ඇත.
මෙහි කන්දේ ඇති සෑම ගල් කුලකම ස්තූපයක් හෝ දෙකක් දක්නට හැකි වූ බව හා හඳුනා ගැනීමේ තත්ත්වයේ පැවති ස්තූප 22 ක් පිළිබඳව වාර්තා වේ. ඒ සියලු ස්තූප හාරා විනාශ කර ඇත. ශේෂව ඇති විශාල බැමි වලින් යුක්ත අංගණ හා ගොඩනැගිලි අනුව අවම වශයෙන් ගොඩනැගිලි 18 ක් වත් තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඉන් එක් ගොඩනැගිල්ලකට අයත් කැටයම් සහිත කුලුනු කිහිපයකි. එහි පාදම් බැම්ම ගැලවී ඇති හෙයින් ගොඩනැගිල්ලට අයත් කොටස් ගැලවී පර්වතය බෑවුමට පෙරළී ඇත. එමෙන්ම මෙහිදි කැසිකිලි ගලක් දක්නට ලැබීම හේතුවෙන් මෙම ගොඩනැගිල්ල පධානඝරයක් හෝ උපෝසථාගාරයක් විය හැකිය යන්න එල්ලාවල මේධානන්ද හිමිගේ අදහසයි.
අඩි 160 ක් පමණ දිගු කටාරම් කොටන ලද ලෙනක් කන්ද මුදුනේ පිහිටි විශාල පර්වතයේ දක්නට ඇත. එහි පළමුවැනි සියවසට අයත් යැයි සැලකෙන බ්‍රාහ්මී ලිපියකි. තැනිත් තැන පර්වතවල නෙළන ලද පියගැට 20 ක් පමණ දක්නට ඇත.
කන්දේ බටහිර දෙසින් මැද බෑවුම් සහිත කොටසේ විශාල ලෙස තැනූ මාර්ගයක් තිබී ඇත. ඒ බැව් ඉතිරිව ඇති සාධක අනුව අවබෝධ වේ. එම මාර්ගය අසල අඩි 60 ක් උස අඩි 501 ක වට ප්‍රමාණයකින් යුත් විශාල ස්තූපයක ගොඩැල්ලකි. නීලගිරි සෑයට පමණක් දෙවෙනි වන මේ ස්තූපය කුඩා කඳු ගැටයක් සේ ඈතට දිස් වේ. මේධානන්ද හිමි මෙම ස්තූපය පිළිබඳව සටහන් කරන කාලය තුළදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කිසිදු වාර්තාවක මේ පිළිබඳව සටහන්ව නොතිබූණේ යැයි සඳහන් කර ඇත.
මෙහි ප්‍රධාන ගල් තලාව මුදුනේ අටැස් කුලුනු මුල්ගල් දෙකක් දක්නට ඇති අතර ඒවා කිසියම් ගොඩනැගිල්ලකට අයත් අවශේෂ විය හැකිය. මෙහි සෙල්ලිපි තුනකි. ලිපි දෙකක් පර්වත ලිපිය. අනෙක ලෙන් ලිපියකි. එය මේධානන්ද හිමි විසින් සොයා ගනු ලැබූවකි. එම ලෙන් ලිපියෙන් කියවෙන්නේ බුදරකිත තෙර, නගය, උපසික බගුය, දෙව පුත, තිණිඛිත හා සපතික යන අය මහාසංඝයාට ලෙනක් පූජා කළ බවය.
වර්තමානයේ දී ශාස්ත්රවෙල නමින් මෙම විහාරය හැඳින්වුව ද පර්වත ලිපිය අනුව ස්ථානයේ ඓතිහාසික නාමය “බෝධිගිරි නාග පබ්බත විහාරය” බව සඳහන්ය. ශාස්ත්රවෙල විහාරයේ නටබුන් යුග කිහිපයකට අයත් වන බව පැවසේ. පළමුව ලෙන් කර්මාන්තය ද ඒ අතරම ස්තූප කිහිපයක් ද ඉදිවී ඇත. චිත්‍ර එම කාල වකවානුවේම ඇඳි අතර එම චිත්‍ර මත නැවත අඳින ලද බවක් පෙනේ යැයි සඳහන්ය. සමස්තයක් ලෙස ගත් කළ මෙම ආරාම සංකීර්ණය ඉතා දියුණු තත්ත්වයක පවතින්නට ඇති බව ලැබී ඇති පුරාවිද්‍යාත්මක සාධක මත තහවුරු වේ.
By රුක්ෂිලා වෙත්තමුණි
By රුක්ෂිලා වෙත්තමුණි
සම්බන්ධ වෙනත් පිටු
කංචිකුඩිච්චි ආරු නටබුන් සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
/
කංචිකුඩිච්චි ආරු නටබුන් වෙත ගමන් දිශාවන්
අම්පාර සිට කංචිකුඩිච්චි ආරු නටබුන් දක්වා මාර්ගය |
දුර : 47 km ගමන් කාලය: පැය 1.15 ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න |