Kundasale Kele Devale – කුණ්‌ඩසාලේ කැලේ දේවාලය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 4.00 out of 5)
Loading...

ඒ උඩරට අවසාන සිංහල රජු වූ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු කුණ්‌ඩසාලේ අගනුවර පිහිටුවා ගෙන රජකරන අවධියයි. (1707 – 1739) නරේන්ද්‍රසිංහ රජු සංගීතය, නැටුම්, සුරාව හා ස්‌ත්‍රීන් ප්‍රියකළ විනෝදකාමියෙකු විය. රජකම පිළිබඳ එහි පුළුල් වටිනාකම් පිළිබඳ ගැඹුරෙන් කටයුතු කළ අයෙකු නොවීය.මහවැලි ගඟ අද්දර ඉතා රමණීය පරිසරයක ඔහු තම අගනුවර වූ කුණ්‌ඩසාලේ නගරය ඉදිකළේය. මෙහි ගහකොළ පිරි නිල්වන් සරු තැනිතලා බිමකි. මහවැලි ගඟ මේ තැනිතලාව මැඳින් කට පුරවාගෙන ජලය රැගෙන කළුගල් මැදින් හෙමින් පහළට ගලායයි. එය බොහෝ වේලා බලාගෙන අදත් රසවිඳිය හැකි කදිම දර්ශනයකි.නරේන්ද්‍රසිංහ කුමරු කුඩා කල ඔහුගේ පියා වූ දෙවන විමලධර්මසූරිය රජුට (1687 – 1707) විරුද්ධව දරුණු කැරැල්ලක්‌ ඇති විය. මේ කැරැල්ලට පසු රජු තම පුතා වූ නරේන්ද්‍රසිංහ කුමරු සතුරන්ගෙන් බේරාගෙන ඇතිදැඩි කීරීම සඳහා මැදදුම්බර උඩිස්‌පත්තුවට ඉහළින් ඇති දුෂ්කර ප්‍රදේශයක පිහිටි කඩතුරා ගල්ලෙන තෝරා ගත්තේය.

නරේන්ද්‍රසිංහ කුමරු මෙම කඩතුරා ගල්ලෙනෙහි දිගුකලක්‌ රැකවලුන්ගේ රැකවරණ මැද ජීවත් විය.ඉඳහිට කුමරු වෙස්‌ වළාගෙන මහනුවරට පැමිණීම සිරිත විය. කඩතුරා ගල්ලෙන සිට මහනුවරට යනඑන විට ගිමන් හැරීමට කුණ්‌ඩසාලේ තැනිතලාවක ගස්‌ රුප්පාවක්‌ යට නැවතීමට කුමරු පුරුදු විය. ඒ නිසා කුමරුගේ ජීවිතයට මේ මනරම් ප්‍රදේශය තදින් කා වැදුණේය.පියාගේ ඇවෑමෙන් 1707 රජ වූ තරුණ නරේන්ද්‍රසිංහ කුමරු දුම්බර මිටියාවතේ මහවැලි ගඟ අද්දර කුණ්‌ඩසාලේ තම අගනුවර පිහිටුවා ගත්තේය.

කුණ්‌ඩසාලේ අගනුවර කරගත් පළමු හා එකම රජු නරේන්ද්‍රසිංහයි. චූළවංශය අනුව මහවැලි ගඟ අද්දර රමණීය පොල් උයනක රජු තම අගනුවර පිහිටුවේය. නගරයක සියලු අංග කෙටි කලක්‌ තුළ එහි ඉදිවිය. කුණ්‌ඩසාලේ යන්නෙහි අර්ථය “විනෝදාගාරය” යනුයි. වැව් ජලාශ උයන් මැද රජවරු එදා කුණ්‌ඩසාලා හෙවත් විනෝදාගාර පිහිටුවා ඇත. එක්‌ ජනකතාවක්‌ අනුව බුධ හා සිකුරු ග්‍රහයන් අතර ඇති වූ ග්‍රහ යුද්ධයකින් සිකුරු පැරදී සිකුරුගේ කුණ්‌ඩලාභරණ බිමට කඩා වැටුණු ස්‌ථානය කුණ්‌ඩසාලේ නම් විය.

මේ ජනකතාව අනුව මෙම ග්‍රහ යුද්ධය කලින් දැනගත් කොත්මලේ ගණිතයා හා දඹදිව සිට පැමිණි උගත් බමුණෙකු අතර සිකුරු කුණ්‌ඩලාභරණය ලබා ගැනීමේ තරගයක්‌ ඇති විය. බමුණාගේ තල්අතු පැළට වැටී ලිස්‌සා ගිය එය කොත්මලේ ගණිතයා සතු විය. ඒ අයිතිය පිළිබඳ අවුල දිග්ගැහී රජු වෙත ගියෙන් රජු ඒ සැරසිල්ලක්‌ ලෙස සකස්‌ කොට දළදා හිමිට පූජාකර ඇත.නරේන්ද්‍රසිංහ රජු කුණ්‌ඩසාලේ පල්ලෙකැලේ කරවූ රාජකීය පැණිමොර උයන එදා පල්ලෙකැලේ මිණිපේ මොරයාය හරහා රන්දෙණිගල දක්‌වා විහිදී තිබිණි.

කෙසේ හෝ නර්න්ද්‍රසිංහ රජු ගොන්සාල්වේස්‌ – ජුසේවාස්‌ – ලැනරෝල් – ප්‍රෙඩෲ ගැස්‌කොන් හෙවත් දස්‌කොන් වැනි විදේශිකයක්‌ සමග වැඩිපුර ආශ්‍රය ඔහුට විරුද්ධව ඇතිවූ කැරලි හා සතුරු කුමණ්‌aත්‍රණ බහුල විය. මේ නිසා 1707 සිට 1715 දක්‌වා අවුරුදු අටක්‌ වැනි කෙටිකාලයක්‌ කුණ්‌ඩසාලේ රජකළ නරේන්ද්‍රසිංහ රජු ඉන්පසු කුණ්‌ඩසාලේ අතහැර දියතිලකපුර හෙවත් හඟුරන්කෙත තම අගනුවර කර ගත්තේය.

මේ කතාවේ කියෑවෙන සිද්ධිය සිදුවූයේ නරේන්ද්‍රසිංහ රජු කුණ්‌ඩසාලේ රජ කරමින් සිටි කාලයේදීය. සතුරු කුමන්ත්‍රණ හා කැරලි නිසා නිතර සැකෙන් විසූ රජු පිටියේ දෙවියන් කෙරෙහි තද භක්‌තියකින් පසුවිය. දුම්බර අඩවි සීමාව තුළ (හඟුරන්කෙත දියතලාකන්ද, පන්විල හුන්නස්‌ගිරිකන්ද, උඩුදුම්බර හුන්නස්‌ගිර කන්ද යන කඳු තුන අතරතුර ප්‍රදේශය එදා දුම්බර ලෙස හැඳින්වූ බව කඩයිම් පොත්වල එයි) මේ දුම්බර සීමාව තුළ අදටත් පිහිටි පිටියේදේවාල තිස්‌එකක්‌ මවිසින් හඳුනා ගෙන ඇත. එදා මේ ප්‍රමාණය මීටත් වඩා වැඩි වූ බව පෙනෙයි. ඉන් වැඩිම පිටියේ දේවාල ප්‍රමාණයක්‌ ඇත්තේ එදා කුණ්‌ඩසාලේ අගනුවර පිහිටි කුණ්‌ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළයි. රජු දොඩම්වල කිවිඳු ලවා පිටියේ දෙවි වර්ණනා කරමින් “පිටියේ සුරිඳු” පුවත නමින් කවි පොතක්‌ ලියවා ඇත. කුණ්‌ඩසාලේ අදටත් පිහිටි පිටියේ දේවාල ගණන නවයකි.

තරුණ වියේදීම නරේන්ද්‍රසිංහ රජුගේ ඇස්‌ පෙනුම දරුණු ලෙස අඩපණ විය. නොයෙක්‌ ප්‍රතිකාර කළත් ඇස්‌ පෙනුම යථාතත්වයට පැමිණියේ නැත. එක්‌ දිනක්‌ රජු දොaලාවක නැඟී පිරිවර සමග පල්ලෙකැලේ මොරඋයන දෙසට ගමන් කරමින් සිටියේය. රාජකීය පල්ලෙකැලේ මොරඋයනේ මොර ගස්‌වල සුදුමල් පොකුරු පිපී මී මැස්‌සන්, බඹරුන්, කුරුල්ලන් පිරී ගොසිනි. මොරගස්‌ සෙවන පීරාගෙන උදා හිරුරැස්‌ විහිදී යයි. මොරඋයන එක්‌ කෙළවරක දැවැන්ත ලෙස වැඩීගිය නුගගසක්‌ විය. හාත්පස අතුවිහිදී ගොස්‌ රූස්‌ස මුල් බිමට ඇදී ප්‍රදේශය වසාගෙන නුගගස පැතිරී තිබිණි. රජු දොaලාවේ නැඟී නුගගස පසුකර ගමන් කළත් එකම සේවකයෙකුට ඉදිරියට ගමන් කළ නොහැකි විය. ගල් ගැසුවාක්‌ මෙන් ඔවුන්ගේ ගමන නතර විය. රජු කෝප වී සේවකයනට බැණ වැදීමට විය.මොකද

බොලව්?

දෙවියන් වහන්ස, එක අඩියක්‌ වත් හෙල්ලෙන්න බෑ. අතපය ඔක්‌කොම හිරිවැටිලා වාගේ. මොනවාහරි හාස්‌කමක්‌ මේ නුගගසේ ඇති.

නුගගස අසල සිටි කපුවෙකු ගෙන්වා කතා කළ පසු ඔහු ආරූඪ විය.

තොපගේ ඇස්‌වල අන්ධකාරය දිව්‍ය නේත්‍රවලට පෙනෙනවා. අර ඈත පේන මොරගස්‌වල සුදු මොරමල් දිස්‌වන පරිදි තොපට නැවත පෙනුම ලබාදිය හැකියි. ඒ වෙනුවට තොප අපට ඉක්‌මණින් දෙවොලක්‌ ඉදිකරදිය යුතුයි.

රජු දොහොත් මුදුන් දී එකඟතාව පළ කළේය. ගතවූයේ සුළු මොහොතකි. මුළු ඇඟම දහදියෙන් නෑවීගිය රජු මුහුණ කට සෝදා කිහිපවරක්‌ තදින් ඇස්‌පිල්ලම් ගසන්නට විය. තරුණවියේ තමාට තිබුණු ඇස්‌ පෙනුම නැවත ලැබී ඇතිබව රජුට දැනුණි. දැවැන්ත නුග ගස මුලට ගිය රජු ඒ ගස මුල වැඳ වැටී පිටියේ දෙවිඳුන්ට පිං දුන්නේය. යන ගමන නොගොස්‌ ආපසු රජමැඳුරට ගිය රජු අලුත් දේවාලයක්‌ ඉදිකිරීමට කටයුතු ආරම්භ කළේය. මණ්‌ඩප තුනකින් යුතු පිටියේ දේවාලය සඳහා අවශ්‍ය ගල්කණු දැවකණු රජමැඳුරෙන් මා ලබාදුන්නේය. දක්‌ෂ ගල් වඩුවන්, කැටයම් කරුවන් යොදා දේවාලය ඉදිකොට එහි විසිතුරු කැටයම් දොරටු, සඳකඩපහන් කරවීය.

දේවාලය පසුකොට විසිතුරු ගල්බැම්මක්‌ ඉදි කරවීය. තුන් මාසයක්‌ යැමට පෙර දේවාලයේ සියලු කටයුතු නිමවිය. තම ඇස්‌ රෝගය සුව වී පිටියේදේව පිහිට ලැබ පිටියේ දෙවියන්ට පඬුරු ලෙස නරේන්ද්‍රසිංහ රජු කරවූ මේ විසිතුරු පිටියේදේවාලය කුණ්‌ඩසාලේ කුණ්‌ඩලගම අසල අදත් දැකිය හැක. ප්‍රදේශයේ බොහෝදෙනා මෙය හඳුන්වන්නේ “කැලේ දේවාලය” නමිනි. හේතුව මේ ප්‍රදේශය කැලෑ අඩවියක්‌ ලෙස මුල්කල තිබීම වියහැක.

මහනුවර සිට කුණ්‌ඩසාලේ හරහා තෙල්දෙණිය දක්‌වා ධාවනය වන බස්‌රියක කෙන්ගල්ල කඩමණ්‌ඩියේ අම්බලම ළඟ බැස මෙම කැලේ දේවාලයට ගමන් කළ හැක. කෙන්ගල්ල අම්බලම අසල සවිකර ඇති දැන්වීම් පුවරුවක්‌ අනුව මුලින්ම අනුරාධපුර කල සද්ධාතිස්‌ස රජු කරවූ මෙම කැලේ දේවාලය ඉන් අවුරුදු 1700 පමණ පසු පිටියේදෙවි වෙනුවෙන් මුළුමනින්ම අලුතින් කරවූයේ නරේන්ද්‍රසිංහ රජුය.

දිවයින
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ
එස්‌. කේ. ජයවර්ධන

Also See

Map of  Kundasale Kele Devale

.

The marker shows an approximate location only. See directions above.

The map above also shows other places of interest within a approximately 20 km radius of the current site. Click on any of the markers and the info box to take you to information of these sites.

Zoom out the map to see more surrounding locations using the mouse scroll wheel or map controls.


Travel Directions to Kundasale Kele Devale

Route from Kandy to Kundasale Kele Devale (upto Kengalla)

Though : Kandy-Mahiyangane-Padiyatalawa Road
distance : 16 km
Travel time : 30 mins.
Driving directions : see on google map

© www.amazinglanka.com

Comments
Posted in Heritage Tagged with: ,