තලගුණේ වෙහෙර පුරාවිද්‍යා ස්ථානය – Thalagune Vehera Archaeological Site

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 5.00 out of 5)
Loading...
තලගුණේ වෙහෙර
තලගුණේ වෙහෙර
ඡායාරූපය : Nsn ryn

නවයාලතැන්න තියෙන්නේ කටුගස්තොටට ආසන්නයෙන්. මේ ප්‍රදේශයේ මහවැලි ගඟට කිලොමීටර දෙකකට පමණ නුදුරුන් තිබෙනවා විශාල උස්වූ ගල්තලාවක්. මේ ගල් තලාව උඩ තිබෙනවා ජනප්‍රවාද රැසකට මුල් වූ විශාල පෞරාණික ස්තුපයක්. මෙය හඳුන්වන්නේ තලගුණේ වෙහෙර නමින්. මේ ගල් තලාව ප්‍රදේශවාසීන් විසින් වෙහෙරගල නමින් හඳුන්වනවා. එම නිසා මෙම ස්තූපය වෙහෙරගල ස්තූපය නමින්ද හඳුන්වනවා.

ජනප්‍රවාදයට අනුව දුටුගැමුණු රජතුමා එළාර සමඟ යුද්ධයට  යන ගමනේදී එතුමාගේ සේනාව ගැටඹේ හරහා කටුගස්තොටට ගොස් තිබෙනවා. ඉන්පසු මහවැලි ගඟ දිගේ තලගුණේ විහාරයට පැමිණ දින කිහිපයක් එහි ගත කොට තිබෙනවා. පසුව මීගම්මන හරහා මහවැලි ගඟ දිගේ උඩුදුම්බර වේඬරුව හරහා මහියංගනය දෙසට ගමන් කළ බව ජනප්‍රවාදයේ පවතිනවා. දුටුගැමුණු රජතුමා මෙම නවාතැන සිහිවීම පිණිස කුඩා දාගැබක් කරවූ බව කියවෙනවා . පසුකලක මෙම කුඩා දාගැබ තවත් විශාල කර ගොඩනංවා ඇති බව පවසනවා.

පුරාණ කාලයේ දී මෙම ස්තූපය සමග බෝධීන් වහන්සේ නමකුත් තිබුණු බව ගම්වාසීන් කියනවා. පුරාණ කාලයේදී මෙම බෝධීන් වහන්සේට අධිපති දෙවිවරුන්ට පුද පූජා කළබව ්‍රදේශවාසීන් පවසනවා.මේ වටා සිටින ගම්වාසීන් ඉස්සර ජීවත් උනේ ගොවිතැනින්. එම නිසා වැස්ස ඔවුන්ට ඉතා වැදගත් වුණා.  ඉඩෝර කාලෙට දඬු බෙර පින්කම් කර තිබෙනවා. වැස්ස ලැබුන පස්සේ වෙනත් පින්කම්. ඉස්සර මිනිසුන් මේ දාගැබට කිරි ආහාර පූජාවන් කර තිබෙනවා . අසනීප වන දී බෝධි පූජාවන් කර තිබේ තිබෙනවා.

මෙම ප්‍රදේශයේ කුඹුරු යායවල් නමයක් තිබුණු නිසා නවයාලතැන්න නමින් හැඳින්වූ බව කියනවා. කුඹුරු වලට අමතරව මේ ප්‍රදේශයේ සරුසාර එළවළු, තල සහ වෙනස් ගොවිතැන්  තිබී තිබෙනවා.

ප්‍රදේශවාසීන් තලගුණේ වෙහෙර සලකන්නේ බොහෝ හාස්කම් තිබෙන තැනක් හැටියටයි. ගම්වාසීන් කියන්නේ එක්දහස් නවසිය අසූ ගණන් වල සංස්කෘතික ත්‍රිකෝනය විසින් දාගැබ ප්‍රතිසංස්කරණය කළ බවයි. නමුත් ඒ වැඩේට හවුල් වූ සියලු දෙනාටම නොයෙක් ප්‍රශ්න වලට හා ලෙඩ රෝග වලට ගොදුරු වූ බව පවසනවා.

මෙම බෝධීන් හා චෛත්‍යය දෙපලේ බලවත්කම් හා හාස්කම් ගැන තවත් කතා තිබෙනවා. දවසක් අහිංසක ගොවියෙක් මේ චෛත්‍යය ලඟ ගැලවී තිබුන ගලක් අරං ගිහින් ගෙදර පඩියට තබා තිබෙනවා. එදා රාත්‍රියේ හැලුනු මහ වරුසාවකින් එම ගලට අකුණක් වැදී කැබලිවලට විසිරී ගොස් තිබෙනව. තව වරක් ගොවියෙක් චෛත්‍යයන් ගැලවුණු ගලක් මිරිස් ගණන් විදිහට ගෙදර පාවිච්චි කරලා. ඊට පස්සේ එම ගොවියාට පිස්සු හැදිලා පිස්සු මලවිකාරයෙන්ම ඒ ගල පහු චෛත්‍යය ළඟට ගෙනත් දමලා.

1993දී සංස්කෘතික ත්‍රිකෝණය විසින් මේ දාගැබ කැනලා නිදන් කොටුවෙ පුරාවස්තු හැත්තෑ අටක් සොයාගෙන තිබෙනවා හැබැයි එතකොටත් නිදන් හොරු කීප පාරක් මේක දාගැබ හාරල තිබිලා තියෙන්නේ. මෙම නිදන්වස්තු වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹට යවා තිබෙනවා. මේ අතර රනින් කළ කුඩා බුදුපිළිම වහන්සේ නමකුත් තිබුණු බවයි පැවසෙන්නේ. මේ පුරාවස්තුවල දැන් තත්වය දැන්නේ නැහැ.

මේ චෛත්‍ය සාදා තිබෙන්නේ ගල මත මීටර් 20ක් පමණ දිගින් හා පලලින් යුතු වේදිකාවක් මත. ගලෙන් කල ආරක්ෂක බැම්මකින් මේ වෙදිකාව වට කරලා තියෙන්නේ. චෙත්‍යයේ විශ්කම්භය මීටර් 12ක් විතර. පේසා වළලු තුනට යටින් වෘත්තාකාර කොටසකින් තමයි මෙම ස්තූපය ආරම්භ වෙන්නේ. එම කොටස වසා තිබෙන්නේ ඔපමට්ටම් කළ ගල් පතුරු පේළියකින්. එම නිසා මෙම චෛත්‍ය වෙනත් සාමාන්‍ය චෛත්‍ය වලට වඩා වෙනස් බවක් දරනවා. පේසා වළලු සහ ඝර්භය සාදා තිබෙන්නේ ගඩොලින්.

පසුගිය පරම්පරාවන් බොහොම ආදරයෙන් සහ ගෞරවයෙන් බලාගත්ත මෙම බෞද්ධ සිද්ධස්ථානය මෙම ප්‍රදේශයේ දියුණුවත් සමගම ්‍රදේශවාසීන්ට අමතක වී ගොසින්. අද පාළුවට ගොස් ඇති මෙම ස්ථානය බලා ගන්නේ කන්ද පල්ලෙහා සිද්ධස්ථානයක සිටින ස්වාමීන් වහන්සේ නමක්.

නමුත් කටුගස්තොට ප්‍රදේශයට යන ඔබටනම් තලගුණේ වෙහෙර පුරාවිද්‍යා ස්ථානය අපූරු වන්දනා ස්ථානයක් වේවි.

මූලාශ්‍ර

සම්බන්ධ වෙනත් පිටු

තලගුණේ වෙහෙර පුරාවිද්‍යා ස්ථානය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

තලගුණේ වෙහෙර පුරාවිද්‍යා ස්ථානය රියදුරු දිශාවන්

කටුගස්තොට සිට තලගුණේ වෙහෙර දක්වා ගමන් මාර්ගය
හරහා : නවයාලතැන්න
මුළු දුර : කිලෝමීටර් 5
ගතවන කාලය : විනාඩි 15
ගත කිරිය යුතු කාලය : පැය 1 – 1,5 අතර
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com