මිහින්තලේ වසම්මලේ පුරාවිද්‍යා ස්ථානය (Mihinthale Wasammale Archaeological Site)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 5.00 out of 5)
Loading...

මිහින්තලාව කියන්නේ ශ්‍රී ලංකාවට බෙහෙයින් වැදගත් ස්ථානයක්. ශ්‍රී ලංකාවේ බුද්ධාගමේ තොටිල්ල මිහින්තලාව කියලත් කියනවා. ඒ කියන්නේ මිහින්තලාව බුද්ධාගමට ඒ තරම් වැදගත්. නමුත් මිහින්තලාව ගැන හුඟක් ලාංකිකයන් දන්නේ මිහිඳු හිමියන් මිහින්තලා ගල මුදුනට වැඩිය කතාවයි මිහින්තලා භූමියේ දැන් තිබෙන නටබුන් පමණයි.

නමුත් මිහින්තලාව කියන්නේ අනුරාධපුර අවධියේ ආරාම වලින් වටවුණු විශාල භූමියක්. තාමත් බොහෝ ස්ථාන තියෙන්නේ නොදන්නා කමට කැලේට යටවෙලා .

පුජණීය මිහින්තලා භූමියට කිලෝමීටර දෙකහමාරක් පමණ නුදුරින් තිබෙනවා ගලින් සෑදුන කඳු ගැටයක්. මේක තියෙන්නේ මිහින්තලා හන්දියෙන් වවුනියාව දෙසට හැරී කිලෝමීටර් දෙකක් පමණ නුදුරින්. රජරට විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා භූමිය පසු කරලා මීටර් 700ක් පමණ ගියහම තමයි මේ කඳු ගැටය තියෙන්නේ. හැබැයි දෙපැත්තේ තිබෙන ගස් නිසා පාරට පේන්නේ නෑ.  මේ  කන්ද  සමග ලඳු  කැලෑව තමයි අවට මිනිස්සු ගවයින් දිගේලි කරන්න පාවිච්චි කරන්නේ. ගම්වාසීන් මේ ස්ථානයට “වසුන්මලේ”, “වසන්මලේ” කියලත් කියනවා.  දැන්නම් මෙතනට “චිත්‍ර ගල” කියලත් කියනවා .

අපි දැන් කතාකරන්න යන්නේ මේ චිත්‍ර ගල කියන නම පසුපස කතාව. 1988දී  ගොවි මහතෙක් තමන්ගේ’ගවයින්’ සොයාගෙන මේ කඳු ගැටයට නැගල. මේක උඩ  තියනවා විශාල ගල්තලාවක්. ඒක  මීටර 800ක් පමණ දිගයි.  එක පැත්තක එක දිගට තිබෙනවා ගල්ගුහා හතරක්. ඒවා තිබෙන්නේ ගල පහලට සුළු  ආනතියක් තිබෙන ප්‍රදේශයක, ගල්ගුහා  ටික හරියට නයෙකුගේ පෙනය වගේ. එක ගුහාවක විතරක් කටාරම් කොටලා තියනවා. මේ ගුහාවේ අඩි 20 විතර දිගට හා අඩි 15ක් පමණ උසට සිතුවමක් ඇඳ තිබෙනනවා. කාලයත් සමග මේ චිත්‍ර බොහෝදුරට විනාශවෙලා තිබුනේ.  මේ ගුහාවේ පොළොවේ ආනතිය නිසා ලෙනක්  ලෙස පාවිච්චි කළා කියල හිතන්න අමාරුයි. හැබැයි පහල තිබෙන ගඩොල්, උළු, මැටි  සහ ගල් කැබති වලින් මෙහි පොලොව පුරවා හෝ බිත්ති බැඳ තිබුන බවක්’ සිතන්නත් පුළුවන්.

කටාරම  යට ගල පෘෂ්ටය කපා ඔපමට්ටම් කර ඒ මත තුනී බදාමයක් ආලේප කර ඒ’මත තමයි චිත්‍ර ඇඳලා තිබෙන්නේ.  චිත්‍ර ආරක්ෂා කිරීමට පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව සිමෙන්තියෙන් තවත් කටාරමක් සාදා තිබෙනවා.  බොහෝ චිත්‍ර විනාශ වෙලා තියෙන්නේ. නමුත් මුළු සිතුවමම එකම තේමාවක් යටතේ සිතුවම් කර ඇතිබව සිතාගත හැකියි. මෙහි රූප 2ක් පමණක් පැහැදිලිව පෙනෙනවා.  මෙහි නාග රූප 2 ක් පැහැදිලිව පෙනුනා. 1988දී සොයා ගන්නාවිට මෙම නාගයන් භික්ෂු නමක් වටා එතී සිටින ආකාරයට සිතුවම්කර තිබී තිබෙනවා. නමුත් භික්ෂු සිතියම අද විනාශ වී ගොසින්. මෙය පෙණගොබ කිහිපක් සහිත නාගයෙක් ලෙසත් විශ්වාස කරනවා.

මීට පහලින් කාන්තාවකගේ රූපයක් තිබෙනවා. ඇය කුඩා’ආසනයක වාඩි වී සිටින ආකාරයක් නිරූපණය කරනවා. කාන්තාවගේ ඉඟ සිහින්ව ඇඳ  තිබෙන්නේ සීගිරි ලලනාවන් සිහිපත් කරමින්. ඇගේ  වම්  අත්ල උඩ  යමක් තබාගෙන සිටින විලසක් පෙනී යනවා. ඊට ඉහලින් නාග පෙනයක සිතුවක් තිබුන බවක් පෙනී යනවා. මේ සිටින්නේ නාග කන්‍යාවක්’බවයි සමහර විද්වතුන්ගේ විශ්වාසය.

මිහින්තලේ රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරිය ලගමුව මහතාගේ උපකල්පනය අනුව මෙම සිත්තම 6-7 වන සියවස් වලට අයත් වන අතර නාග ලෝකයේ’ අවස්තාවක් පිළිබිඹු වෙනවා.

ක්‍රි.ව. 3 වන සියවස ආසන්නයේ මුල්බැසගත් මහායාන හා හීනයාන බෝධිසත්ව වන්දනාව 6-9 සියවස් වලදී වර්ධනය උපරිම වී ඇත. මේ සමග තාරා දෙවගන වන්දනාවද මුල්බැසගත් බවක් පෙනේ. දස වන ශතවර්ෂයට අයත් මිහින්තලේ සිවු වන මිහිඳු රජුගේ පුවරු ලිපියේ එම ප්‍රදේශයේ පුජාස්ථාන කිහිපයකට ලබාදුන් ප්‍රදානයන් පිළිබඳව කියැවේ. මෙහි කියවෙන ඇත් වෙහෙර හා ගිරිහඬු වෙහෙර එම ප්‍රදේශයෙන්ම සමුවී ඇත. නමුත් එහි සඳහන් “මණිනාල් දෙව් දූ  ගෘහය” හා “නාගේන්ද්‍ර” නම් වූ සිද්ධස්ථානය මෙතෙක් සොයාගන නැත.

මහාචාර්‍ය සෙනරත් පරණවිතාන මණිනාල් යනු තාරා  දෙවඟන හඳුන්වන තවත් නමක් ලෙස හඳුන්වා ඇත. එම නිසා මෙම පටු ගුහාව බිත්ති නංවා මණිනාල් දෙව් දූවගේ  ගෘහය හෝ නාගේන්ද්‍ර සිද්ධස්ථානය විය හැකි බව ආරිය ලගමුව මහතාගේ විශ්වාසයි.

මෙම ගුහාවන්ට අමතරව මෙම ගල් තලාව මත ස්වභාවික පොකුණු රාශියක් දක්නට ලැබෙනවා. නමුත් අවාසනාවකට මෙම ස්ථානයට කිසිදු ආරක්ෂාවක් නැති වීමෙන් මෙහි පැමිණෙන මන්දබුද්ධිකයන් මෙම චිත්‍ර මත නොයෙක් දේ ඇඳ  ඇති බව වාර්තාවෙනවා.

මෙම ස්ථානයට ඇතුල් වීමට නිසි මාර්ගයක් නොමැත. රජරට විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා භූමිය පසු කරලා කිලෝමීටර 1ක් ගියවිට පුරාවිද්‍යා පුවරුවක්  හමුවෙනවා.  එතනින් වමට කැළය ඇතුලට කුඩා වැලි පාරක් තිබෙනවා. මේ පාර සුළු දුරකින් අවසන් වෙනවා. ඉන්පසු පාර සොයාගෙන යා  යුතයි. මේක අලි සහ වෙනත් වල්සතුන් ගැවසෙන කැලයක්‌. එමනිසා ඒ පිළිබඳවත් සැලකිලිමත් විය යුතයි.

මූලාශ්‍ර

සම්බන්ධ වෙනත් පිටු

මිහින්තලේ වසම්මලේ පුරාවිද්‍යා ස්ථානය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මිහින්තලේ වසම්මලේ පුරාවිද්‍යා ස්ථානය රියදුරු දිශාවන්

අනුරාධපුර සිට මිහින්තලේ වසම්මලේ පුරාවිද්‍යා ස්ථානය
හරහා :මිහින්තලේ
මුළු දුර : කිලෝමීටර් 15
ගතවන කාලය : විනාඩි 30
ගත කිරිය යුතු කාලය : පැය 1 – 1,5 අතර
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply